Princess-Mako-leaves-the-royal-family-and-Japan-due-to-marriage-and-leaves-for-America

රජ පවුලේ සාමාජිකත්වය අත්හරමින් සිය පෙම්වතා සමගින් විවාහ වුණු මාකෝ කුමරිය ඊයේ (14දා) දිනයේදී සිය උපන් බිම වන ජපානයද අතහැර ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචිය සඳහා පිටත්ව ගිය බව වාර්තා වෙයි.



විවාහයෙන් අනතුරුව ඇය සිය ස්වාමියාගේ නාමය වන කොමරෝ නාමය ලබා ගෙන තිබේ. ඒ අනුව මාකෝ කොමරෝ සහ ඇගේ ස්වාමියා වන කෙයි කොමරෝ ටෝකියෝ නුවර හන්ඩා ගුවන්තොටුපොළෙන් පිටත්ව යන අවස්ථාවට එරට මාධ්‍ය තුළ වැඩි අවස්ථාවක් හිමිව තිබුණි.

එසේම ඔවුන්ට විශේෂ ආරක්ෂාවක්ද එහිදී ලබා දී තිබුණි.කෙයි කොමරෝ එක්සත් ජනපදයේ ෆෝර්හාම් විශ්වවිද්‍යාලයේ නීති විද්‍යාලයෙන් උපාධිය හදාරා ඇති අතර, මේ වන විට නිව්යෝක් නුවර නීති සමාගමක සේවය කරයි. මාකෝ කුමරිය සහ කෙයි එකිනෙකා හමුවී ඇත්තේ විශ්වවිද්‍යාලයේදීය. ඉදිරියේදී දෙදෙනාම නීතීඥ සමාගමක රැකියාව සිදු කරනු ඇතැයි සඳහන් වෙයි.

ජපාන රජ පවුලේ සම්පුදාය සහ නීතියට අනුව රජ පවුලේ සාමාජිකයෙකු එරට සාමාන්‍ය පවුලක අයෙකු විවාහ කර ගන්නේ නම් ඔහුගේ හෝ ඇයගේ රාජ්‍යත්වය අහෝසි වී යයි. ඒ අනුව මාකෝ කුමරිය සිය රජ පවුල වෙනුවට පෙම්වතා තෝරා ගත් අතර, වසර කිහිපයක් ප්‍රමාද වූ දෙදෙනා අතර විවාහය පසුගියදා ඉතාමත් චාම් ආකාරයෙන් සිදු විය.-