ත්‍රිරෝද රථයක ගැටීමෙන් හිසට බරපතළ තුවාල වී, මොළය මියගිය පුද්ගලයකුගේ, වකුගඩු දෙකක් ඇතුළු අවයව කිහිපයක් හෝමාගම මූලික රෝහලේදී පරිත්‍යාග කළ බව කොට්ටාව පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ පන්නිපිටිය, මාලපල්ල අතුරුගිරිය පාරේ, අංක 233/10 හි පදිංචි වීරකෝන්
මුදියන්සේලාගේ ප්‍රියන්ත දීපාල් වීරකෝන් (56) නමැති දෙදරු පියකු බව පොලිසිය කියයි. ශ්‍රී ලංකා
ගමනාගමන මණ්ඩලයේ රියැදුරකු ලෙස වසර තිහකට ආසන්න කාලයක් උඩහමුල්ල ඩිපෝවට අනියුක්තව සේවය කළ මොහු, ඉකුත් 12 දා රාත්‍රි 10ට පමණ සේවය නිමවා නිවෙසට එමින් සිටියදී කොට්ටාව අතුරුගිරිය පාරේ මාලපල්ල ප්‍රදේශයේදී පාර මාරුවෙමින් සිටියදී ත්‍රිරෝද රථයක ගැටී අනතුරට පත්ව තිබිණි.
අනතුරින් ඔහුගේ හිසට බරපතළ තුවාල වී තිබූ අතර ප්‍රතිකාර සඳහා, හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී වෛද්‍යවරුන් රෝගියා පරීක්ෂා කොට මොහුගේ මොළය මියගොස් ඇති බැවින් ජීවත් කරවීමට නොහැකි බව පවසා නැවත හෝමාගම මූලික රෝහලට මාරුකර එවා තිබිණි. ඒ අනුව වෛද්‍යවරුන් ඔහුගේ බිරිය ඇතුළු ඥාතීන්ට ඒ බව දන්වා ඇත. පසුව වෛද්‍යවරුන් මියගිය පුද්ගලයාගේ බිරියගෙන් ඉල්ලා ඇත්තේ, ඔහුගේ වකුගඩු පරිත්‍යාග කරන ලෙසයි. ඊට මියගිය පුද්ගලයාගේ බිරිය ඇතුළු ඥාතීන්ගේ, කැමැත්ත පළ කිරීමෙන් පසුව හෝමාගම මූලික රෝහලේදී ඉකුත් 14 දා එම පුද්ගලයාගේ වකුගඩු දෙක ඇතුළු සිරුරේ තවත් අවයව කිහිපයක් දන්දී තිබේ.
මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු උදය කුමාර මහතා හෝමාගම මූලික රෝහලේ හදිසි මරණ පරික්ෂණ උසාවියේදී (14දා) කරන ලදී.
එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය එස්. නවසිවායම් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවට අනුව හා
ඉදිරිපත් වූ සාක්ෂි අනුව මියගිය පුද්ගලයාගේ මරණයට හේතුව, ත්‍රිරෝද රථ අනතුරකින් හිස තදබල
පෘෂ්ඨයක ගැටීමෙන් මොළයට වූ බරපතළ හානිය බව, හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා නිගමනය කළේය. සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාෂණ වන්නිආරච්චි මහතාගේ උපදෙස් මත, රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල් (78580) රත්නායක නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.
පන්නිපිටිය - හෂාන් පුෂ්පික
0 Comments