පසුගිය පැය 24 තුළ ඇද හැලුණු වාර්ෂාපතනය හේතුවෙන්අත්තනගලු ඔය  ගංඟාවේ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ වන විට අත්තනගලු ඔය, තිහාරිය ආසන්නයේ පිහිටි දූනමලේ ජල මිනුමේ ජල මට්ටම මීටර් 4.95ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.



මේ හේතුවෙන් අත්තනගලු ඔය ද්‍රෝණියේ අත්තනගල්ල, ගම්පහ සහ ජා-ඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බීම් ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයකට පත්වීමේ අවධානමක් ඇති බව දන්වා ඇත.

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 10 කට ජාතික ගොඩනැගිල පර්යේෂණ සංවිධානය මඟින් නායයෑම් පිළබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ. හෙට (09) පස්වරු 04 දක්වා බලපැවැත්වෙන පරිදිය.

බදුල්ල, කොළඹ, ගාල්ල, කලුතර, නුවර සහ කෑගල්ල, නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණු දිස්ත්‍රික්ක වන අතර එම අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරුණු සෙසු දිස්ත්‍රික්ක වන්නේ කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුරයි.

ඉදිරි පැය කිහිපය තුළ බුලත්සිංහල,බදුරලිය,පාලින්දනුවර,මිල්ලනිය,හොරණ,දොඩංගොඩ සහ කළුතර ප‍්‍රදේශ වලට සුළු ගංවතර තත්ත්වයක් ඇවියහැකි බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.