මුන්දලම තාරවිල්ලුව ප්‍රදේශයේ ගංවතුරේ ජලපහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි පස්දරු පියකුගේ මළ සිරුර කිලෝමීටරයකට නුදුරින් රාජමුත්තුවත්ත ප්‍රදේශයේ ඇළක තිබියදී හමුවී ඇතැයි මුන්දලම පොලිසිය පවසයි.  මෙසේ ජලපහරට හසුව මරණයට පත්ව ඇත්තේ මුන්දලම බත්තුලුඔය තාරවිල්ලුව පදිංචි ජාගොඩගේ බෙනට් ද සිල්වා නමැති 69 හැවිරිදි පස්දරු පියකු බව පොලිසිය කියයි.  



අධික වර්ෂාව හේතුවෙන් දෙවැනි වරටත් ගංවතුර දැමු ඉකුත් 14 වැනි එක් දරුවෙකු පමණක් නිවසේ තබාගෙන  සෙසු දරුවන් අසල්වාසී නිවෙසක රඳවා වැඩිමහල් දියණියත් අඹුසැමි දෙපළත්  නිවසේ සිටියදී මෙම ඛේදවාකය වී ඇතැයි පොලිසිය කියයි.

ක්‍රමයෙන් ජලය වැඩිවනවාත් සමග මරණකරුත් ඔහුගේ බිරියත් දියණියත් ඉන් බේරීම සදහා නිවෙසේ බාල්කය මතට නැග්ගත් එම ප්‍රමාණයද ඉක්මවා ජලය ගැලීම හේතුවෙන් ඉන් ගොඩ ඒමට සැමියා පිහිනු බව දිවිගලවාගත් බිරිය පොලිසියට ලබාදුන් කටඋත්තරයේ සඳහන් වන බව පොලිසිය කියයි. 

අනතුරුව පිහිනාගෙන එන අතරතුර සිය පුරුෂයා සැඩපහරට ගසාගෙන ගිය බවත් තමාත් දියණියත් කොහොඹ ගසක එල්ලී දිවිගලවාගෙන එළිවනතුරු එහි සිටියදී ප්‍රදේශවාසීන් එක්ව දරුවාත් තමනුත් බේරාගත් බව එම කටඋත්තරයේ වැඩිදුරටත් සඳහන් වේ. මේ පිළිබඳව මුන්දලම පොලිසිය පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇති අතර මරණකරුගේ මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පීසීආර් පරීක්ෂණයකින් පසුව සිදුකිරීමට නියමිතව තිබිණි.

-ලලිත් නවරත්න -