“ගෑස් සිලින්ඩරයක් දෙනකම් ලොරිය ඇඟ උඩින් ගියත් නැඟිටින්නේ නෑ” කියමින් ඊයේ (15දා) කාන්තාවක්
ගෑස් සිලින්ඩර් ගෙන යමින් තිබූ ලොරියක මඟ හරස් කරමින් බිම වාඩි වී විරෝධතාවක නියැළී සිටියාය. 



වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිත මධ්‍යස්ථානයක් ඉදිරිපිට එක් දරු මවක මෙසේ
විරෝධතාව දැක්වූවාය.



එම වෙළෙඳසල ඉදිරිපිට ඊයේ උදෑසන සිට ගෑස් මිලදී ගැනීම සඳහා විශාල පිරිසක් පැමිණ සිටි අතර
 ඇයද එහි සිටිනු දක්නට ලැබිණි.

පස්වරු 1.30ට පමණ ගෑස් සිලින්ඩර් රැගත් ලොරිය පැමිණි අතර නිකුත් කළ ගෑස් ප්‍රමාණවත් නොවීම
හේතුවෙන් ඇයට ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට නොහැකි විය.

එහිදී ගෑස් අහිමි වූ පිරිස් තරමක් නොසන්සුන්කාරී අන්දමින් හැසිරුණු අතර ‘මට ගෑස් දෙන්නේ නැත්නම්
ලොරිය මගේ ඇඟ උඩින් ගියත් නැඟිටින්නේ නෑ’ කියමින් ලොරියේ මඟ හරස් කර බිම වාඩිවූවාය.

පැයකට ආසන්න කාලයක් සිදුකළ විරෝධතාව හේතුවෙන් එම පරිශ්‍රය තුළ තරමක් නොසන්සුන්කාරී තත්ත්වයක්
ඇති වූ අතර ගෑස් සිලින්ඩර රැගත් ලොරි රථයට බොහෝවේලා යනතුරු පිටව යෑමට නොහැකි විය.



සිද්ධිය සැලවීමත් සමඟම වාද්දුව පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණි අතර ගෑස් සිලින්ඩරයක්
ලබාදෙන බවට ඇයට දුන් පොරොන්දුව මත ඇය එම ස්ථානයෙන් ඉවත් වූවාය.

පසුව වෙළෙඳසල තුළ සඟවා තිබූ ගෑස් සිලින්ඩරයක් ඇයට ලබාදීමට පොලිසිය විසින් කටයුතු කරන ලදී.


පොතුපිටිය - සුමිත් රණවක