බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වන “බෝගම්බර බන්ධනාගාරය" කඩා ඉවත් කර එතැන "කැන්ඩියන් ඇරිනා" නමින් බහුකාර්ය ව්‍යාපාරික මධ්‍යස්ථානයක් සෑදීමට යෝජනා වී ඇතැයි දැනගන්නට තිබේ. 2014 වසරේදී එහි සිටි රැඳවීයන් පල්ලේකැලේ බන්ධනාගාරයට මාරු කර හැරියේද ඒ නිසාය. මේ වන විට වසර හතකට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇතත්, එහි කිසිදු වෙනසක් සිදු වී නොමැත. එහෙත් බන්ධනාගාර ගොඩනැගිල්ලේ සහ ආරක්ෂක බැම්මේ කොටස් කිහිපයක් වැස්සට සේදී ගොස්, දිරාපත් වෙන් කඩාවැටීමේ අවදානමක් පවතින බව දැන ගක්නට ලැබේ. මේ වන විට කොවිඩ් වයිරසයට ගොදුරු වී සිටින රැදයන් වෙනුවෙන් ප්‍රතිකාර ලබා දෙන, වෛද්‍ය මධ්‍යස්ථානයක් වශයෙන් එය පවත්වාගෙන යනු ලබයි. ඒ නිසා මේ ගැන සොයා බැලීමට අප අදහස් කළෙමු.
මහනුවර නගර සීමාවේ මහනුවර වැව, වේල්ස් පාරක් (උද්‍යානය) තරුණ බෞද්ධ සංගමය, කැන්ඩි සිටි සෙන්ටර්, මහජන පුස්තකාලය පෙනෙන මානයේ, ඇහැලේපොළ කුමාරිහාමි මාවතේ බෝගම්බර බන්ධනාගාරය පිහිටා තිබේ. මෙය මහනුවර නගරයේ පැරණිතම ගොඩනැගිල්ලක් වන අතර, එය පුරාවිද්‍යාත්මක වටිනාකමෙන් ද යුක්තය. මහනුවර නගරයේ නැතිනම් එදා සෙංකඩගල පුරවරයේ බෝගම්බර බන්ධනාගාරය ඉදිකර ඇත්තේ ඉංග්‍රීසින් විසිනි. ඒ මීට වසර 145 කට පමණ ප්‍රථමය. බොහෝ ගම්වර ලබා දී ඇති බව පැවසීමට "බෝගම්බර" යන නම භාවිතා කරන බව පැරැන්නන්ගේ අදහසයි. තවත් මතයක් වන්නේ එම ප්‍රදේශයේ බෝ ගස් බොහොමයක් පැවති නිසා, "බෝගම්බර" වූ බවයි. කෙසේ වෙතත් රජ දවස (ඉංග්‍රීසි පාලන සමයට පෙර) සෙංකඩගලපුර මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන ලද්දේ, දැනට මධ්‍යම වෙළෙඳ පොළ ඉදිරිපිට තිබූ “ හැන්ග්මන්ස් හිල්" නම් කුඩා කදුගැටයක දී ය. ක්‍රි.ව. 1815 ඉංග්‍රීසින් විසින් කන්ද උඩරට සිංහල රාජධානිය යටත් කර ගනු ලැබීමෙන්, වසර හැට එකකට පමණ පසුව, එනම් 1876 වසරේ දී බෝගම්බර බන්ධනාගාරය ඉදිකර ඇත. මෙම ඇහැලේපොළ කුමාරිහාමි ඇතුළු පවුලේ සෑම දෙනා බෝගම්බර වැවේ ගිල්වා මරණයට පත් කළ බව අප කවුරුත් දන්නා කරුණකි.
ඒ වැව අද දක්නට නොලැබෙන අතර, දළදා මාළිගාව අසළ පිහිටි කිරි මුහුද නැතිනම් නුවර වැව, බෝගම්බර වැව ලෙස තවත් පිරිසක් සිතා ගෙන සිටියි. එය වැරදිය. එසේ වුවත්, වර්තමානයේ බෝගම්බර ක්‍රීඩා පිටිය, බන්ධනාගාරය පමණක් නොව මධ්‍යම වෙළෙඳ පොළ පිහිටි ප්‍රදේශය පුරා එදා පිරී පැවතියේ බෝගම්බර වැවේ ජලයෙනි. බොහෝ දෙනෙක් සිතාගෙන සිටින්නේ බෝගම්බර බන්ධනාගාරය ඉදිකර ඇත්තේ ඇහැලේපොළ කුමාරිහාමි ගිල්වා මරණයට පත් කරන ලද, බෝගම්බර වැව ගොඩ කරන ලද භූමියේ බවය. මෙම මතය ද වැරදි බව පැරණි ලේඛණ පරික්ෂා කර බැලීමේදී පෙනී යයි. බෝගම්බර ක්‍රීඩා පිටිය සාදා ඇත්තේ බෝගම්බර වැව තිබූ ප්‍රදේශයේය. එහි වැව් තාවුල්ල බෝගම්බර බන්ධනාගාරයේ බෝගස තිබෙන ප්‍රදේශය දක්වා පැතිර ඇත, එදා බෝගම්බර වැවේ ගිල්වන ලද කුමාරිහාමිගේ මෘත දේහය මතුව ඇත්තේ බෝගම්බර බන්ධනාගාරයේ ඇති බෝගසට තරමක් ඈතිනි.
මෙයින් පැහැදිලි වෙන්නේ වැව් තාවුල්ල බන්ධනාගාරය පිහිටි ප්‍රදේශයේ කොටසක් දක්වා පැතිර තිබෙන්නට ඇති බවයි. පසුව බෝගම්බර වැවේ ජලය සම්පුර්ණයෙන්ම ඉවත් කර පස් පුරවා ක්‍රීඩා පිටියක් බවට පරිවර්තනය කළේය. වැව පිරවීම සඳහා පස් රැගෙනවිත් තිබෙන්නේ නැගෙනහිර ප්‍රදේශයේ තිබු කඳුවලින් බව සඳහන්ය. ක්‍රීඩා පිටිය සෑදීමේදී, එහි සිටි සිරකරුවන් ප්‍රයෝජනයට ගෙන ඇති අතර, ක්‍රි.ව. 1887 වසරේ දී, රජයේ ඒජන්ත ලෙස කටයුතු කළ ඩබ්ලිව්.ඊ.ටී. ගෘප් මහතා බෝගම්බර ක්‍රීඩා පිටිය විවෘත කර තිබේ. රජ දවස වරදකරුවන් දෙතිස් වද දී මරා දැම්මේය. එහෙත් ඉංග්‍රීසින් විසින් ක්‍රි.ව. 1820 දී එල්ලා මැරීම ක්‍රියාත්මක කරමින් ඉංගිරියේ කළුඅප්පු නමැති පුද්ගලයා වැලිකඩ සිට පෑලියගොඩට ගෙනවිත් ප්‍රසිද්ධියේ එල්ලා මරණ ලදී.
කෙසේ වෙතත් ක්‍රි.ව. 1815 මාර්තු 02 දින ඉංග්‍රීසින්ට විරුද්ධව කැරලි ගැසූ කැප්පෙටිපොළ නිලමේතුමා ඇතුළු පිරිස හිස ගසා මරා දමන ලද අතර, පසුව කැරලි ගැසූ ඇහැලේපොළ ඇතුළු 53 දෙනෙක් ක්‍රි.ව. 1818 දී, ඇහැලේපොළ වලව බන්ධනාගාරයක් බවට පත්කර රදවා තබන ලදී. ඊට පසුව ඉංග්‍රීසින්ට විරුද්ධව කැරලි ගසන හා වැරදි කරන පුද්ගලයන් රඳවා තැබීමට බන්ධනාගාර පද්ධතියක් ආරම්භ කිරීමට ඔවුන්ට අවශ්‍ය විය. ඒ අනුව 1844 අංක 18 දරන පනත මගින් බන්ධනාගාර ආරම්භ කිරීමට කටයුතු කළේය. ඒ අනුව ක්‍රි.ව. 1871 දී වැලිකඩ බන්ධනාගාරයත්, 1875 දී මහර බන්ධනාගාරයත්, 1876 දී බෝගම්බර බන්ධනාගාරයක් ආරම්භ කරන ලදී. ප්‍රංශයේ ඓතිහාසික සටනකට මුල් වූ බැටිල්ල හිර ගෙදර ගෘහ නිර්මාණ ශිල්පයට සමානව, එහි ආකෘතිය හා රැජිනගේ ඔටුන්නේ ආකෘතිය අධ්‍යයනය කරමින් සැලසුම් කරන ලද බෝගම්බර බන්ධනාගාරය, එවකට බන්ධනාගාර පරීක්ෂක ජනරාල් සහ පොලිස් පරීක්ෂක ජනරාල් එන්. ආර් සෝන්ඩර්ස් මහතාගේ අධීක්ෂණය යටතේ ඉදිකරන ලදී.
බෝගම්බර බන්ධනාගාරය කිසිම තැනකින් වෙන් නොවුණු තනි පාදමක් මත ඉදි කළ, ආසියාවේ දිගම ගොඩනැගිල්ල වීම විශේෂත්වයකි. එය දිගින් අඩි පන්සිය පනස් හයක්ද (556), පළලින් අඩි දෙසිය හතළිස් හතරක්ද (244), උසින් අඩි එකසිය දෙකකින්ද (102) සමන්විතය. සිර ගෙදර සියලුම දොරවල් විවර කළ හැක්කේ එකම යතුරකිනි. එය “මාස්ටර් කී" එක ලෙස හැඳින්වේ. මෙම ගොඩනැගිල්ලට ඇතුළු වීමට හා පිට වීමට ඇත්තේ දොරවල් දෙකකි. වම් පසින් ඇතුළු වී දකුණු පසින් පිටවිය යුතුය. ඊට අමතරව එක්, එක් වර්ගයේ සිරකරුවන්, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලද සිරකරුවන්, සිවිල් වැරදි සඳහා දඬුවම් ලැබූ සිරකරුවන්, සාමාන්‍ය වැරදි සඳහා දඬුවම් ලැබූ සිරකරුවන් ආදී ලෙස වෙන වෙනම සිරකරුවන් රඳවා තැබීමට විශේෂිත වූ කුටි ඒ තුළ සකස් කර ඇත. බටහිර දෙසින් ඇති රෝහල් ගොඩනැගිලේ බරපතළ වැරදිකරුවන් සහ මරණීය දඬුවමට නියම වූ සිරකරුවන් සඳහා වෙන්කර තිබේ.
බන්ධනාගාරය මහල් තුනකින් සහ සිර මැදිරි තුන්සිය විසි අටකින් (328) සමන්විත වේ. මුල් කාලයේ බන්ධනාගාරය ඉදි කිරීමට ලක්ෂ හතරකට ආසන්න මුදලක් වැය කර ඇති අතර හෙක්ටයාර පන්දහස් පන්සිය අනූහයක භූමි ප්‍රමාණයක් වෙන් කෙරුණි. මෙහි අඩි හතේ සහ අටේ සිරකුටි සාදා ඇති අතර දේශපාලන සිරකරුවන් රදවා තබා ගැනීමට වෙනම කොටසක් ද, ආගමික කටයුතු සඳහා වෙන් වූ ස්ථානයක්ද, වඩු කාර්මික ශිල්පය ඉගැන්වීම සඳහා ගොඩනැගිල්ලක්, කොණ්ඩා කැපීම සඳහා බාබර් සාප්පුවක් ආදී බොහෝ ස්ථාන ඇතුළත්ව පැවතිණි. සිරකරුවන් හාරසිය අට (408) දෙනෙකු සඳහා ප්‍රමාණවත්ව ගොඩනැගු මෙම බන්ධනාගාරය, එවකට ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව නමින් හදුන්වන ආයතනය හා සිරකරුවන් අනු දෙදෙනෙකු (92) ගේ සහාය යොදාගෙන තිබේ. මෙහි ප්‍රථම ප්ලර් වනුයේ වෙලින්ටන් මහතාය. මෙරට ආරක්ෂිත බන්ධනාගාර අතුරින් දෙවැනි තැන හිමිවන්නේ මෙයටය. මෙම බන්ධනාගාරය ඉදිකිරීමෙන් පසු ඒ තුළ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන ලදී. එකවර තිදෙනෙක් එල්ලා මැරිය හැකි වන අයුරින් එල්ලුම් ගස් තුනකින් සමන්විතය. එක සිර කුටියක එක රැඳවියෙකු හෝ තිදෙනෙකු රඳවා තබන අතර, දෙදෙනෙකු එක් මැදිරියක රඳවා තබා ගන්නේ නැත.
අවසන් වරට, එල්ලා මරණ ලද්දේ 1975 වසරේ දී ය. ඒ වන විට සිරකරුවන් පන්සිය විසි හතර දෙනෙක් (524) එල්ලා මරණයට පත්කර තිබුණ අතර, 1975 නොවැම්බර් මස 21 සහ 22 දිනවල අවසන් වරට එල්ලා මරණයට පත්කර ඇත්තේ තිස්මඩ මිනීමැරුමට වරදකරුවන් වූ ඩබ්ලිව්.ඩී. රිචඩ් සහ ටී.එම්. ජයවර්ධනය. එකල මරණ දණ්ඩනයට ලක් වූ සිරකරුවෙකු සදහා රුපියල් පහළොවක (15) කෑම වේලක් ලබා දෙන ලදී. රැඳවියන් සඳහා උදෑසන ආහාර සඳහා බත් ග්‍රෑම් එකසිය විසි පහක් (125) පොල් සබෝල අවුන්ස හතරක්, තේ සහ සීනි ග්‍රෑම් හතක් (7) ද, දවල් ආහාරය සඳහා බත් ග්‍රෑම් 225 ක්, මැල්ලුම් ග්‍රෑම් 28 ක්, මාළු ග්‍රෑම් 56 ක් ද, රාත්‍රී ආහාරයට බත් ග්‍රෑම් 170 ක්, අල වර්ග ග්‍රෑම් 84 ක්, මස් ග්‍රෑම් 56 ක්, එළවළු ග්‍රෑම් 56 ක් සමග රාත්‍රියට තේ ද ලබා දුනි.
බෝගම්බර බන්ධනාගාරයේ සිරගතව සිටි ප්‍රකට පුද්ගලයන් අතර සරදියෙල්, සිරිපාල හෙවත් මරුසිරා ද වන අතර, මෑත කාලයේ කොල්වින් ආර්. ද සිල්වා, පිලිප් ගුණවර්ධන, විලියම් ද සිල්වා යන දේශපාලකයෝද රඳවා සිටියහ. නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ වයි.ඒ.ජී.කේ. ගුණතිලක මහතා මෙසේ කියයි. ඉංග්‍රීසි යටත්විජිත සමයේ එංගලන්ත ගෘහ නිර්මාණ ශිල්පයට අනුව මහනුවර නගර මධ්‍යයේ සාදන ලද බෝගම්බර බන්ධනාගාරය, තට්ටු තුනකට ඉදිකර තිබෙන අතර, අක්කර දොළහක ඉඩමක් ඊට අයත් වෙනවා. ඉදිරියෙන් බන්ධනාගාරයට ඇතුල් වන ප්‍රදේශයේ ජේලවර්වරුන් ගේ නිවස්නය සහ විවෘත කොටසට අක්කර පහක ප්‍රමාණයක් ද, තාපයෙන් වට වී ඇති ප්‍රධාන ගොඩනැගිල්ලට අක්කර පහයි දශම පහක් ද, පිටුපසින් පිහිටි ඉතිරි අක්කර දෙකක ප්‍රමාණය බන්ධනාගාරයේ නිල නිවාස ද ඊට ඇතුළත්ව පවතී.
බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පල්ලේකැළේ බන්ධනාගාරයට රැගෙන යාමට හේතු වුණේ, මහනුවර නගරය මැද, පිහිටි විශාල වටිනාකමක් තිබෙන ඉඩමෙන් ප්‍රයෝජනයක් ලබා ගැනීම සඳහායි. ඒ අනුව වසර හතක පමණ කාලයක් බන්ධනාගාර ගොඩනැගිල්ලෙන් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන තබා ගැනීම අනුමත කළ නොහැකි බැවින්, ආර්ථිකමය, සමාජමය සහ සංස්කෘතිකමය වශයෙන් ලොකු දායකත්වයක් ලබා ගත හැකි ආකාරයේ “කැන්ඩියන් ඇරීනා" නමින් බහුකාර්ය මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට අවශ්‍ය සැළසුම් අපි සකස් කර තිබෙනවා. එබැවින්, බෝගම්බර බන්ධනාගාරයේ සිටි රැදවියන් 2014 වසරේදී, පල්ලේකැළේ බන්ධනාගාරයට රැගෙන ගියා.
ඒ සඳහා විශාල වියදමක් දරුවා.
මෙම බහුකාර්ය මධ්‍යස්ථානයෙන් ප්‍රධාන අරමුණු තුනක් ඉටුකර ගැනීමට අදහස් කරනවා. ඉන් පළමුවැන්න උඩරට නර්තනය, පින්තාරුකරණය, සංගීතය, අත්කම් ඇතුළු මධ්‍යම පළාතේ කලා ශිල්පීන් වෙනුවෙන් ඔවුන්ගේ නිර්මාණ ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාදීම. ඒ සඳහා රඟහලක් ආරම්භ කිරීම. දෙවැන්න මෙරට තේ, අත්කම් සහ කුළුබඩු ඇතුළු මහනුවර ප්‍රදේශයේ නිෂ්පාදනවලට ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ වෙළෙඳ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට අවස්ථාවක් උදාකර දීම සහ තෙවනුව දේශීය, විදේශීය සම්මන්ත්‍රණ, වෙළෙඳ ප්‍රදර්ශන සහ උත්සව ආදිය මගින් ලෝක වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කිරීම ආදියයි. කෙසේ වෙතත් මෙම ගොඩනැගිල්ල සංරක්ෂණය කළ යුතු යැයි කියා එක පිරිසක් ද, තවත් පිරිසක් සංරක්ෂණය නොකර, ප්‍රධාන ගොඩනැගිල්ල කඩා ඉවත් කර තට්ටු කිහිපයක ජාත්‍යන්තර මට්ටමේ ගොඩනැගිල්ලක් ඉදි කළ යුතු යැයි කියා තවත් පිරිසද පවසති.
අවසාන සිංහල රාජධානියේ දළදා මාලිගාව, ඇහැලේපොළ වලව්ව, රජ ගෙදර ඇතුළු මහනුවරට ආවේනික ගෘහ නිර්මාණවලට මූලික තැනක් ලබා දිය යුතුයි. එය ඉදිරියට රැගෙන යා යුතුයි. එහෙත් එංගලන්ද ගෘහ නිර්මාණ ශිල්පය ඉස්මතු කරන බෝගම්බර බන්ධනාගාරය තවදුරටත් සංරක්ෂණය නොකළ යුතු යැයි කියන්නේ ඒ නිසයි. අනෙක මෙම ගොඩනැගිල්ල සංරක්ෂණය කරන්න බිලියන තුනක මුදලක් වැය වෙනවා. මේවට වැය කරන්නේ මහජන මුදල්. එය අපරාධයක්. තවත් කරුණක් වෙන්නේ මෙම ගොඩනැගිල්ලේ බොහෝ තැන් දිරාපත් වෙලා තිබෙන්නේ. ඒ නිසා මෙම ගොඩනැගිල්ල ඉවත් කළ යුතු යැයි කියන මතයේ අපි ඉන්නවා. තවමත් එය ස්ථිර වශයෙන් තීරණය කර නැහැ. එහෙත් බෝගම්බර මුර කුටි හතර සහ තාප්පය ඉවත් කරන්නේ නැහැ. ස්මාරකයක් හැටියට එය තවදුරටත් තබා ගන්නවා. කෙසේ වෙතත් බිලියන විස්සක පමණ වටිනාකමක් ඇති භූමියක් වසර හතක පමණ කාලයක් තිස්සේ කිසිදු ප්‍රයෝජනයක් නොගෙන තබා ගැනීම ගැන කනගාටුවට කරුණක්. ඒ මහතා පැවසීය.
ස්තුතිය- නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් සහකාර අධ්‍යක්ෂ නිලන්ත පරණගම සහ මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකයේ මාධ්‍යවේදී නිමල් මහවත්ත යන මහත්වරුන්ට.
-සිසිර කුමාර බණ්ඩාර-
0 Comments