covid19-provincial-restrictions

කොරෝනා වසංගත රැල්ල නැග එද්දී, ජනතාවගෙන් පිරිසක් ජීවත් වීම පිළිබදව මහත් වූ අවිනීශ්චිත තත්වයකින් පසුවෙමින්, වසංගත රැලෙන් ජීවිත රැක ගැනීමට මංපෙත් සොයන අතර තවත් පිරිසක් ජීවිතය සැහැල්ලුව විඳිනට විවිධ මංපත් සොයමින් සිටිති.සෞඛ්‍ය අංශ විවිධ සෞඛ්‍ය කාරණා, පුරුදු ගැන කතා කරන අතර ආණ්ඩුව සංචරණ සීමා, නිරෝධායන නීති, හදිසි නීති මේ ආදි දේ ගෙන එමින් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට උත්සහ කරද්දී රටේ ප්‍රධාන සෞඛ්‍ය විශේෂඥවරුන් ජනතාවට පවසන්නේ  පුරවැසි වගකීම දැඩිව තේරුම් ගෙන සෞඛ්‍ය අංශ විසින් දී ඇති උපදෙස් පිළිපැදීම තුළින් වසංගතය පාලනය කරගත හැකි බව ය. ඒ අතර සෞඛ්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදී සංගම් පවසන්නේ දීර්ෂ සංචරණ සීමාවට යෑම රටක මහජනතාවට විශාල ගැටලු ඇතිකරවන්නක් වුව ද, සංචරණ සීමා කාලය තුළදී හා ඉන් පිටත දී විද්‍යාත්මක භාවිතාව අනුගමනය නොකිරීම නිසා සුළු වශයෙන් වෛරසය පාලනය කරගැනීම සඳහා විශාල කාලයක් කැප වන්නට මහජනතාවට සිදුව ඇති බවයි.

කරුණු කාරණා කෙසේ වුවද දිනෙන් දින කොරෝනා වසංගතය හේතුවෙන් මියයන අපේ ප්‍රියයන්. ආදරණීයයන්, හිතවතුන් ගණන විශාල වෙමින් පවතින්නේ උදාවන හෙට දවස තවත් දුක්බර මරණයක ආරංචියක් ගැන හදවත් ගිනි වද්දවමිනි. පවතින මෙම තත්ත්වය හමුවේ රටේ කොවිඩ් අඩු වෙලා ද. එසේ නැතහොත් වැඩිවෙලා ද යන්න පිළිබඳව සහ ජනතාව ඇතුළු පාර්ශවයන් ගතයුතු ක්‍රියා මාර්ග පිළිබඳව අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සමග කතා කළෙමු. කොරෝනා රෝගීන්ගේ තත්වය සති කිහිපයකට කලින් තිබුණාට වඩා කිසියම් දියුණුවක් පෙන්නුම් කරනවා. ඒ කියන්නේ රෝගීන්ගේ අඩුවීමක් දකින්නට ලැබෙනවා.



නමුත් මෙය අපට සම්පූර්ණයෙන්ම සෑහීමකට පත් වෙන්න පුළුවන් තත්වයක් නෙමෙයි. තවම දිනකට 2000 ඉක්මවලා රෝගින් වාර්තා වෙනවා. ඊට අමතරව ප්‍රමාද වෙලා තවත් රෝගීන් සිය ගණනක් සමහර අවස්ථාවල වාර්තා වෙනවා. ඒවා විටින් විට අප විසින් මුළු එකතුවට එකතු කරනවා. නමුත් සමහර වෙලාවට ප්‍රමාද වෙලත් වාර්තා වෙනවා. මේක ද අර ඇන්ටිජන් පරික්ෂණ හරහා කරන විට අපිට පැය 24 කින්ම ලංකාවේ ඈත ප්‍රදේශවලින් එනවිට සමහර වෙලාවට ප්‍රමාද වීම් සිද්ධ වෙනවා. ඒ සියල්ල එකතු කරන් ගත්විට තවමත් 3000 කට ආසන්න රෝගින් සංඛ්‍යාවක් හැමවෙලේම වාගේ වාර්තා වෙනවා. හේමන්ත හේරත් මහතා පවසන අන්දමට ඉකුත් වසරේ මෙම කාලය සැලකිල්ලට ගත් විට විදේශයන්හි සිට එන රෝගීන් මිස, රට ඇතුළේ එක් රෝගියෙකු හෝ වාර්තා වී නැත. එසේ පැවති තත්වයක් තුළ රෝගීන් 3000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වීම හොඳ කාරණාවක් නොවේ.

‘සෞඛ්‍ය අමාත්‍යාංශය විදියට අපි නැවත නැවතත් අවධාරණය කරනවා මෙය නිදහසේ සැහැල්ලුවෙන් සරලව සිටීමට හොඳ කාරණයක් නෙමෙයි. පවතින තත්වයේ වැඩි දියුණුවක් පෙන්නුම් කරනවා. නමුත් තවම අපිට සම්පුර්ණයෙන්ම මේ ගැන අමතක කරන්න පුළුවන් තත්වයක් නැහැ. මෙහිදී ද මහජනතාව ලෙසත්, සෞඛ්‍ය අංශ සහ රජය පාර්ශවයෙනුත් දැනට පවතින තත්වය යහපත් තැනකට පත් කර ගැනීම සඳහා කළ යුතු සහ ගතයුතු ක්‍රියාදාමයන් පිළිබඳව ද අපි විමසුවෙමු. ‘ඇත්තටම පවතින තත්වය යහපත් කර ගැනීමට කළයුතු දෙයක් නැහැ. එකයි පවතින්නේ . එනම් සෞඛ්‍ය පුරුදු සියයට 100 ක් අනුගමනය කිරීම. ඒ සෞඛ්‍ය පුරුදු මොනවාද කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය නොකඩවා කියලා තියෙනවා.


දිගින් දිගටම කියනවා. ඒ ටික හරියට කරනවා නම් මේ තත්වය පාලනය කරගන්න පුළුවන්. අපේ වෙලා තියෙන්නේ මොකක්ද? නීතියක් දැමොත් විතරයි ක්‍රියාත්මක කරන්නේ.

එහිදිත් කිසිවෙකු හෝ ඒ නීතිය කැඩුවොත් අනෙක් කෙනාත් නීතිය කඩනවා. අවසානයේ ඔකෝම නීතිය කඩනවා. තමන්ගේ පුරවැසි වගකීම තේරුම් අරගෙන අපි කටයුතු කරන්නේ නැහැ. මේ වගේ ප්‍රශ්න නිසා තමයි මෙය වඩාත් බරපතළ වී තියෙන්නේ. හැබැයි බහුතරයක් පිරිස සෞඛ්‍ය නීති අනුගමනය කරනවා. නමුත් සුළු පිරිසක් හෝ ඒවා අනුගමනය නොකර සිටිනවා යැයි කියන්නේ. රෝගය පැතිරෙන්න එතැනින්ම ඇතියි කියන එකයි. ඉතින් ඒ නිසා ජනතාවට මෙහිදී දෙන්න තියෙන පණිවිඩය තමයි, කවුද කරන්නේ කවුද නොකරන්නේ කියලා හොයලා වැඩක් නැහැ. අපි නොකර ඉදිමු. අපි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමු. නොකළ යුතු දේ නොකර ඉදිමු. ඒක හරියටම කළොත් මං හිතනවා මේ බරපතළ වසංගත තත්ත්වය ඉදිරියේදී පාලනය කරගන්න පුළුවන් වෙයි කියලා. කෙසේ වුවද රට තුළ පසුගිය දිනවල දැමු සංචරණ නීති හේතුවෙන් එදිනෙ දා කුළියක් මලියක් කරගෙන දුකසේ ජීවත්වන බොහෝ පිරිසට බරපතළ ජීවන අසීරුතා පැන නැගුන ද රෝග ව්‍යාප්තිය කිසියම් දුරකට මැඬපැවත්වීමක් සිදුවන්නට ඇති බව ද පෙනෙන්නට තිබේ. එසේම මෙහිදී බලය, නොසලකා කටයුතු කරනු ද පෙනෙන්නට තිබිණ.


මෙම තත්වය තුළ රෝගය අඩුවීමක් තිබිණිදැයි අප විමසුවෙමු. ‘සංචරණ නීති දැමීමෙන් කිසියම් හොඳ දෙයක් නොවුනා කියලා කියන්න බැහැනේ. පසුගිය කාල සීමාව තුළ සංචරණ නීති එක්කම තමයි මේ රෝගින් අඩුවුණේ. කාට හෝ කියන්න බැහැ ඒක හින්දා නෙමෙයි අඩු වුණේ. අරක හින්දා මේ හින්දා කියලා කාටවත් කියන්න බැහැ. දැන් ප්‍රශ්නය තියෙන්නේ සංචරණ සීමා නිසාය මේ අඩුවුණේ කියන එක. තව පැහැදිලිව පෙන්නුම් කරන දවස වෙන්නේ ඉතාමත් අවාසනාවන්ත එක් පර්යේෂණයකින් විතරයි. ඒ කියන්නේ සංචරණ සීමා ලිහිල් කළාට පස්සේ, ආයේ රෝගීන් වැඩිවුණොත් ඒ කියන්නේ සංචරණ සීමාවලින් තමයි රෝගින් අඩු වුණේ කියලා. නමුත් එහෙම අවාසනාවන්ත තත්ත්වයට පරික්ෂණයක්  කරන්න අපිට සූදානම් කරන්න බැහැ. ඒක නිසා අපි හැමවෙලේ කියන්නේ සංචරණ සීමා ඉවත් කළත්, සෞඛ්‍ය පුරුදු සංචරණ සීමා පවතිනවාය කියන පදනමින්ම අපි කටයුතු කිරීම වැදගත් වෙනවා. නීතියටත් වඩා අප මෙය තදින් හිතට ගෙන කටයුතු කළ යුතුව තිබෙනවා.මෙම සියලු තත්වයන් සැලකිල්ලට ගනිමින් සහ රෝග ව්‍යාප්තිය අවම කිරිමට සෞඛ්‍ය අංශය විසින් ඉදිරියේදී සැලසුම් කර ඇති ක්‍රියාමාර්ග පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කරමින් වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ රටේ එන්නත්කරණ වැඩපිළිම්වල විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුව ද ඉතාමත් විධිමත්ව කරන බවය. 'අපි දැනට එන්නත් ක්‍රියාවලිය දිගටම කරගෙන යනවා. එන්නත් ලැබෙන පරිදි රටේ ජනගහනයෙන් උපරිමයකට මේ එන්නත් ලබා දීමට කටයුතු කරනවා. මේ වන විට රටේ ජනගහනයෙන් ඉලක්කගත කණ්ඩායම්වල, ඒ කියන්නේ ප්‍රධාන ඉලක්කගත කණ්ඩායම්වල වයස අවුරුදු 30ට වැඩි ජනගහනයට ඒ අයගෙන් සියයට 100 ක් ඉක්මවූ ඇස්තමේන්තු ජනගහනය ඔකොමට අපි එන්නත් ලබා දී තියෙනවා. හැබැයි එන්නත් ලබා නොගත් කණ්ඩායම් තවම ඉන්නවා.




 ඊට අමතරව රටේ ජනගහනය හැටියට ගත්තහම කොහොමත් සියයට 40 ඉක්මවලා සියයට 42 - 43 කට ඒ ආකාරයට එන්නත් මාත්‍රා දෙකම ලබා දී තියෙනවා. මේ කටයුත්ත දිගටම යනවා. රෝගීන් වුනොත් ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලවල් සකස් කරලා තියෙනවා. නමුත් මේ රටට විශාල බරක්. එතකොට මේ කටයුත්තේ දී අපි නැවත නැවතත් ඒ බර දැරීමට කටයුතු කරනවා කියන්නේ අපේම මුදල් අපි නාස්ති කර ගැනීමක්. රජය කියන්නේ ජනතාවගේ මුදල්. වෙනත් ප්‍රයෝජනවත් වැඩකට යොදන්න තියෙන ඒවා තමයි අපි මෙයට යොදවන්නේ . ඒ නිසා රෝගීන් සංඛ්‍යාව අවම කරගන්න ගත යුතු සියලු ක්‍රියා මාර්ග ගැනීම තමයි වැදගත් වෙන්නේ. මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා. රට තුළ පනවා ඇති සංචරණ සීමාව හේතුවෙන්, නිදැල්ලේ ව්‍යාප්ත වෙමින් තිබූ වයිරසයට කිසියම් බාධාවක් ඇති වී තිබෙන බව සංඛ්‍යා ලේඛන මගින් පැහැදිළිව පෙනෙන්නට තිබෙනවා. නමුත් මෙම සංඛ්‍යා ලේඛන කොතරම් දුරකට විශ්වාස කළ හැකිද? ඒවා විද්‍යාත්මකද?,


 අහඹුකරණය වැනි සිද්ධාන්තික භාවිතාවකින් තොරව සිදු කරන පරික්ෂණ ප්‍රතිඵල වලින් කියවනු ලබන අනාවැකි. කෙතරම් දුරකට විශ්වාස කළ හැකිද? යන ගැටලුව ඒ තුළ තවම තිබෙනවා. එම සංචරණ සීමා දැමීමට පෙර සිදු කරණු ලැබූ පරික්ෂණ ප්‍රමාණය පවා සිදු නොකරමින්, ආසාදිතයන් නිදහස් කිරීමේ දී පවා පරික්ෂණයක් අවශ්‍ය නොමැති බවට චක්‍රලේඛ නිකුත් කරන තත්වයක් යටතේ සහ පරීක්ෂණ භීතියක් ඇතිබව තහවුරු කරමින් තිබෙන පරිසරයක, කෙතරම් දුරට විද්‍යාත්මක යථාර්ථයන් තේරුම් ගැනීමේ අවශ්‍යතාවයක් පවතින්නේ ද? යන්න පිළිබඳව පවා පැහැදිලි නැති බැවින්, ලැබී ඇති දත්ත මත පමණක් පදනම්ව විද්‍යාත්මක තීරණයක් ගැනීමේ හැකියාවක් නැහැ. වෛරසයේ පාලනයට, සංචරණ සීමා පැනවීම මගින් අර්ථයක් සැපයී ඇති නමුත්, ඒ අපේක්ෂිත ප්‍රතිඵලය ද යන්න අප ඊටත් වඩා සලකා බැලිය යුතුය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාව, කලාපයේ රටවල් අතර වැඩිපුරම සංචරණ සීමා දමා ඇති රටක් වුවද, සංචරණ සීමාව කාලයේ වැඩිපුරම සීමා උල්ලංඝණයන් සිදුවන රටකි. අප සංචරණ සීමා කාලය නිවැරදිව ගත නොකිරීම, සංචරණ සීමා කාලය දීර්ඝ කිරිමට හේතුවක් වී ඇති බව එමගින් තහවුරු වේ. අරිය සංචරණ සීමාවකට යෑම රටක මහජනතාවට විශාල ගැටලු ඇති කරවන්නක් වුවද,


සංචරණ සීමා කාලය තුළ දී හා ඉන් පිටතදී විද්‍යාත්මක භාවිතා අනුගමනය නොකිරීම නිසා, සුළු වශයෙන් වෛරසය පාලනය කර ගැනීම සඳහා විශාල කාලයක් කැප කරන්නට මහජනතාවට සිදු වී තිබෙනවා. ඒ තත්ත්වය වළක්වා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පාර්ශවයෙන් විද්‍යාත්මක භාවිතයකට රජය හෝ මහජනතාව පොළඹවන බවක් පෙනෙන්නට නොමැති බැවින්, වෙරසය මීට වඩා වේගයෙන් පාලනය කර ගැනීම සදහා ජනතාවගේ පාර්ශවයෙන් හෝ පවතින විද්‍යාත්මක අවශ්‍යතාව තේරුම්ගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍ය වී තිබෙනවා. එන්නත් මාත්‍රා කොපමණ විදිනු ලැබුව ද, ඩෙල්ටා ප්‍රභේදය අසාධනය වීම සහ තවකෙකුට බෝ වීම හෙවත් 100% ජීවාණුහරිත තත්වයක් තවම කිසිදු එන්නතකට නොමැති බැවින්, එන්නත ලබා දීමෙන් පමණක් වසංගතය පාලනය කළ නොහැක. රංචු ප්‍රතිශක්තිය පිළිබඳ උපරිම විශ්වාසය තබා කටයුතු කිරීම ද අනුවන කමක් වෙනවා. ඒ නිසාම යම් ප්‍රමාණයකට පාලනය කරගත් වෙරසය, සැලකිය යුතු ප්‍රතිඵලයක් දක්වා වර්ධනය කර ගැනීමට, වැඩි පරික්ෂණ ප්‍රමාණයක් සිදුකරමින්, අසාදිතයන් වර්ගකර වෙන් කිරීමක් දක්වා විධිමත් කිරීමටත්, බැලූ බැල්මට පෙනෙන දත්ත මගින් තීරණ ගැනීම වෙනුවට විධිමත් අහඹුකරණ ක්‍රියාවලියක් හරහා ලබා ගන්නා පරික්ෂණ ප්‍රතිඵල මගින් වසංගතය නිවැරදිව පුරෝකතනය කර ගැනීමත් අත්‍යවශ්‍යයි.

-පද්මිනි මාතරගේ-