දඹුල්ල මහ නගර සභා බල ප්රදේශයට අයත් සළුඅපුල්ලනවැව ග්රාම සේවා වසමේ නාවාගස්හින්න ප්රදේශයට 10 දින රාත්රියේ කඩා වැදුණු වන අලි රංචුවක් එක රැයකින් ඵල දරමින් ඇති පොල් ගස් දෙසියයක් පමණ විනාශ කොට ඇතැයි ප්රදේශවාසීහු පවසති.
දඹුල්ල නගරයට කිලෝමීටර් එක හමාරක් පමණ දුරකින් පිහිටා ඇති නවාගස්හින්න ප්රදේශය වැඩි වශයෙන් ගොවීන් ජීවත්වන ප්රදේශයක් බවත් දින ගණනාවක සිට වන අලි රංචුවක් ගම් වැදී මෙම විනාශය සිදුකරන බව ඔවුහු පවසති. නාවගස්හින්න ප්රදේශයට 10 රාත්රියේ පැමිණි වන අලින් රංචුව එම් ප්රදේශයේ ගොවීන් රැසකගේ පොල් ගස් පෙරළා ආහාරයට ගෙන තිබෙන බවත් ඇතැම් පොල් ගස්වල ඉහළ කොටසේ ගොබය ඇද ආහාරයට ගෙන ඇතැයි ගොවීහු පෙන්වා දෙති. විනාශ කර ඇති පොල් ගස් ඉතා හොඳ පලදාවක් ලැබෙමින් තිබුණු බවත් එක රැයකින් සිදු වූ මෙම මහා විනාශය තමන්ට දරා දරාගැනීමට නොහැකි බවත් එම ගොවීහු හැඬු කඳුළෙන් පැවසූහ.
වසර ගණනාවක් තිස්සේ අත් වතුර යොදා වගා කළ පොල් ගස් එක් රැයකින් බිම පෙරළා ඒවායේ ගොබය ඇද ඉතා කෙටි කැබැල්ලක් පමණක් ආහාරයට ගන්නා බවද පෙන්වා දෙන ගොවීහු මෙම වන අලි හානියට ස්ථිර විසඳුමක් හා තමන්ට සිදුව ඇති පාඩුව ට වන්දියක් ලබා දෙන්නයි බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටිති. ගල්කිරියාගම රණව රක්ෂිතයේ සිටින වන අලින් රංචුවක් මේ දිනවල පලාගල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය හරහා හබරත්තාවල ගම්මාන විනාශ කර දමමින් මේ වන විට දඹුල්ල මහ නගර සභා බල ප්රදේශයට පවා ඇතුළු වී ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
වහා විදුලි වැටක් ඉදිකර මෙම වන අලි හානිය අවම කර දෙන ලෙසත් එසේ නොමැති වුවහොත් රටේ පොල් ඵලදාවට බරපතළ හානියක් සිදුවන බවත් මෙම ජනතාව පෙන්වා දෙති.
කේ .කේ .ආරියදාස-දඹුල්ල
0 Comments