dematagoda-ruwan-story

විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරී (අපරාධ) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ රට පුරා සිදු කෙරෙන අපරාධ මෙහෙයුම් ජාලයේ තවත් වැටලීමක් වශයෙන් පසුගිය 28 පස්වරුවේ දෙමටගොඩ ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ මෙහෙයුමකින් පාතාල නායක දෙමටගොඩ රුවන්  (දෙමටගොඩ චමින්දගේ සොයුරා) සහ තවත් අටදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් සමඟ දෙමටගොඩ රුවන්ගේ නිවස තුළ තිබී තවත් අවි ආයුධ රැසක් සහ මත්ද්‍රව්‍යද, ලක්ෂ 1500 පමණ වටිනා වාහන 3 ක්, මුදල් රුපියල් ලක්ෂ පනහක්ද සොයාගෙන තිබේ.



28 දා පස්වරු 5.00ට පමණ විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් විශාල පිරිසක් යොදා ලතීෆ් මහතාට ලැබුණ ඔත්තුවකට අනුව දෙමටගොඩ පාතාල නායක දෙමටගොඩ චමින්දගේ සොහොයුරා වූ දෙමටගොඩ රුවන් ඇතුළු මෙම කණ්ඩායමේ පාකිස්ථාන ජාතික යුවළක්ද සිටි බව පොලිසිය කියයි.

පිස්තෝල දෙකක්, වායු පිස්තෝලයක්, උණ්ඩ රැසක්, කඩු කිණිසි ඇතුළු ආයුධ රැසක් සහ කොකේන් මිලිග්‍රෑම් ප්‍රමාණයක්ද එම නිවසේ තිබී එසේ සොයා ගෙන තිබේ. මෙම ආයුධ සහ පාතාල සාමාජිකයින් එක් රැස් කරගෙන දෙමටගොඩ රුවන් විසින් කුමක් හෝ අපරාධයක් සිදු කිරීමට සැලසුම් කර තිබෙන්නට ඇති බවද සැක කෙරේ.
ඔහු සතුව තිබූ වාහන මිලට ගත්තේ කෙසේදැයි කළ ප්‍රශ්න කිරීමේදී ඔහු ඒවා තමන් සතු වයාපාරයක් වන සමාජ ශාලාවේ ආදායමින් උපයාගත් බව දන්වා සිටියේය.
කෙසේ වෙතත් එම සමාජ ශාලාවේ ආදායම පරීක්ෂා කිරීමේදී වසර 2 ක කාලයේ එහි ආදායම ලක්ෂ 5ක් පමණක් බව හෙලි විය. ඔහු කළ හඑකම රැකියාව ලෙස අධිකරණයට සඳහන් කළේ එය පමනි.
කෙසේ වෙතත් නඩුව විභාගයට ගන්නා අවස්ථාව වනවිට ඔහුගේ සමාජ ශාලාවේ ගිනුම් අගයන් වෙනස් කර වැඩි වත්කමක් පෙන්වා තිබූ බවද හෙලි විය.
මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන දෙමටගොඩ රුවන් නමැත්තා 2017- 2019 අතර කාලය තුළ ශ්‍රී ලංකාවට මුහුදු  මගින් කෝටි 1000කට අධික වටිනා හෙරොයින්  තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය ගෙන්වා ඇති බවට තොරතුරු තහවුරු වී ඇතැයි පොලිසිය කියයි.  මෙම කාලය තුළ හෙරොයින් කිලෝ 900කට අධික ප්‍රමාණයක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 321ක්, හෂීස් කිලෝ 30ක් මෙරටට ගෙන්වා ඇති බව පොලිසිය පැවසීය.


මෙම වසරේ අප්‍රේල් මස 10 වැනිදා ඉන්දීය වෙරළාක්ෂක බළකාය විසින් හෙරොයින් කිලෝ 340ක ප්‍රමාණයක් ද සමග ශෂිලා දුව' නමැති බහුදින යාත්‍රාවක් ශ්‍රී ලාංකික සැකකරුවන් පස් දෙනකු සමග අත්අඩංගුවට ගෙන තිබූ බවත් එහි අතර මත්ද්‍රව්‍ය තොගය ද සිරිනායක පතිරණගේ රුවන් චමිල ප්‍රසන්න හෙවත් දෙමටගොඩ රුවන් නමැත්තා වෙත රැගෙන එමින් තිබු ඒවා බවට හෙළි වී ඇතැයි ද සැකකරුවන් සතුව තිබූ සැටලයිට් දුරකතනයක් ඔස්සේ සිදුකළ විමර්ශනයේ දී  මේ බව හෙළි කර ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.   මෙම සැකකරු 2017 හෙරොයින් කිලෝ 320ක්, 2018 වසරේ හෙරොයින් කිලෝ 200ක් සහ අයිස්  මත්ද්‍රව්‍ය කිලෝ 200ක්, 2019 වසරේ හෙරොයින් කිලෝ 400ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 105ක්, හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක්, 2021 වසරේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 21ක් ලංකාවට එවා ඇති බවට තොරතුරු හෙළි වූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.




2019 වසරේ දී හෙරොයින් කිලෝ තවත් 200ක් බහුදින යාත්‍රාවකින් රටට ප්‍රවාහනය කරමින් තිබිය දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබූ බවද මෙම මාධ්‍ය හමුවේ දී ඔහු සඳහන් කළේය.  ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ වැඩි අවධානය යොමු වීමත් සමගම විවිධ පුද්ගලයන් නීති විරෝධි ජාවාරම්වල නිරත වී මුදල් උපයා ක්ෂණික පෝසතුන් වී ඇති අන්දම බුද්ධි අංශ මගින් තොරතුරු ලබා  දී තිබූ බවත්, ඒ අනුව ඒ සම්බන්ධයෙන්  විමර්ශන පැවැත්වීමට අපරාධ පරික්ෂණ   දෙපාර්තමේන්තුවේ නීති විරෝධි දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය ස්ථාපිත කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. මෙම කොට්ඨාසයේ මූලික අරමුණ වූයේ නීති විරෝධීව උපයා ගන්නා මුදල්වලින් මිල දී ගත් දේපළ සම්බන්ධයෙන් සොයා බලා ඒ බව තහවුරු කරගෙන නීතිමය කටයුතු කිරීම බව ද හෙතෙම පැවසීය.


මෙම පුද්ගලයා විසින් යම් යම් ජාවාරම්වල නිරත වෙමින් උපයාගත් මුදලින් දේපළ මිල දී ගෙන ඇති බවට තහවුරු වූ බවත්, ඒවා උපයාගත් අන්දම තහවුරු කිරීමට ඔහුට නොහැකි වූ බවත් ඒ මහතා කීය.  මෙම සැකකරු නීති විරෝධි ජාවාරම්වලට අමතරව මිනී මැරීම් ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ බවට හෙළි වූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. දෙමටගොඩ රුවන් නමැත්තා පසුගිය 29 වැනිදා දෙමටගොඩ පිහිටි ඔහුගේ නිවසේ දී නීති විරෝධි දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.  මොහු සතුව තවත් වාහන, නිවාස හා දේපළ ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවත් ඒවා සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන  බවත් හෙතෙම සඳහන් කළේය.


මේ ආකාරයේ නීති විරෝධි ජාවාරම්වල  නිරත පුද්ගලයන් රැසක් සමාජයේ සිටින බවත්, මෙවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් හෝ දේපළ විමර්ශන කොට්ඨාසය මුදල් විශුද්ධිකරණ පනත යටතේ   විමර්ශන සිදුකරමින් පවතින බවත් මාධ්‍ය ප්‍රාශකවරයා කීය.

මේ ආකාරයට නීති විරෝධි ලෙස කෝටි  ප්‍රකෝටි ලෙස ආදායම් ඉපයූ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු වෙතොත්  පොලිසියට තොරතුරු දෙන ලෙසට ඉල්ලා  සිටින බවත්, එම තොරතුරු ඔස්සේ පරීක්ෂණ  පවත්වමින් ඔවුන් නීතිය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

සැකකරුවන් සහ අදාළ භාණ්ඩ දෙමටගොඩ පොලිසිය හරහා අද (01) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.