dew-gunasekara-speaks

බොරැල්ල, සුගීෂ්වර ශාලාවේදී ‘‘ජනතාවාදී අය වැයක අවශ්‍යතාවය’’ යනුවෙන් පැවැත්වූ සම්මන්ත්‍රණයකදී
 ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු මහ ලේකම් ඩිව් ගුණසේකර සීනි වංචාව, හාල් සහ පොහොර අර්බුදය මෙන්ම ඥානසාර හිමියන්ට සභාපති ධුරයක් පිරිනැමීම වැනි තීරණ ජනාධිපතිවරයා ගෙන ඇත්තේ සදාචාර විරෝධී ලෙස බව පවසා සිටියේය.



බඩු මිල එකවර අඩු කරමින් තවත් වරක වැඩි කරමින් කිසිදු ප්‍රතිපත්තියක් නොමැති ආකාරයට ජනාධිපතිවරයා කටයුතු කරන බව හෙතෙම මෙහිදී පැවැසීය. රටක් ලෙස ඉතාමත් දුර්වල තත්ත්වයක ශ්‍රී ලංකාව සිටින නිසා අධිරාජ්‍යවාදී රටවල් මෙරටට දැඩිව බලපෑම් එල්ල කරන බව ඔහු පවසා සිටියේය. රටේ ආර්ථිකය මේ වන විට වැටී ඇති බරපතළ අනතුරුදායක තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතු බවට තමන් ජනාධිපතිවරයාට පැවසූ බවත් එසේ දැනුවත් කර තිබුණේ නම් ඡන්දය ලබාදුන් හැට නවලක්ෂයේ භාගයක් හෝ ජනාධිපතිවරයා සමග සිටිනු ඇතැයි ලේකම්වරයා අවධාරණය කළේය.

ජීවත්වීමේ සටන ගෙනයාමට මහජනතාව විඳින දුෂ්කරතාවන් පිළිබඳව රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවක් නොදන්නා බව ඔහු කියා සිටියේය.

මෙම මන්ත්‍රීවරුන්ට වැඩමුළුවක් හෝ තබා ආර්ථිකය පිළිබඳ දැනුමක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියත් ඔහු එය තුට්ටුවකට හෝ ගණන් නොගත් බව හෙතෙම පැවැසීය. නිදහසින් පසු බිහිවූ කැබිනට් මණ්ඩල අතරින් ඉතාමත් අඥානම කැබිනට් මණඩලය සිටින්නේ මෙම ආණ්ඩුවේ බව ඔහු ප්‍රකාශ කළේය. කොවිඩ් අර්බුදයට වඩා දරුණුම අර්බුදය වී ඇත්තේ ආර්ථික අර්බුදය බව ආණ්ඩුව නොදන්නා ලෙසින් කටයුතු කරන බව  ගුණසේකර මහතා කියා සිටියේය.