diana-gamage-speaks

කංසා වගාව නීතිගත කළ යුතු බවට  ශ්‍රී ලංකා පොදුජන  පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ඩයනා
ගමගේ ඊයේ (16දා) පාර්ලිමේන්තුවේදී යෝජනා කළාය.

ඒ අනුව කංසා වගාව නීතිගත කරන ලෙස තමා මුදල් ඇමැතිවරයාට යෝජනාවක්  ඉදිරිපත්  කරන බවද ඇය පැවසුවාය.

අප  කිසිවකුගේ ළඟට ගොස් සිඟා කෑමට හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් ණය ලබා ගැනීමට
 අවශ්‍ය නොවන බවත් කංසා වගාව අපට සොබාදහමෙන්ම ලබා දුන් වාණිජ බෝගයක් බවත් මන්ත්‍රිවරිය පෙන්වා දුන්නාය.



වෙනත් රටවල් කංසා වගාවෙන් ඉතා විශාල ධනයක් උපයන අතර යුරෝපා  ආයෝජන බැංකුවට අනුව
ගෝලීය කංසා වෙළෙඳපොළේ අගය  ඊළඟ දශකයේ 1000%කින්  ඉහළ යන බවත් 2027 වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 140ක් මෙමඟින් ආයෝජනය කළ හැකි බවට පුරෝකථනය කර ඇති බවත් ඇය පැවැසුවාය.

ඉන් 57%ක්  නීත්‍යානුකූල කංසා බවත් ඒවා උතුරු ඇමෙරිකාවේ හා යුරෝපයෙන්  වාර්තා වන අතර
 2018 ලෝක වෙළෙඳපළේ කංසා නිෂ්පාදන වෙළෙඳපොළ අගය ඩොලර් බිලියන  4 -5 අතර  තිබෙන බවට පුරෝකථනය කර ඇතැයිද මන්ත්‍රිවරිය කීවාය.



එමෙන්ම ඩොලර් බිලියන ගාණක ආදායමක්  ලැබෙන හෙයින් 2025 වනවිට කංසා වෙළෙඳපළ 8.5% -
10.6%   අතර බව  ඇස්තමේන්තුගත කර තිබෙන බවද ඇය පැවසුවාය. මන්ත්‍රිවරිය වැඩිදුරටත් පැවසුවේ මේ කංසාවලින් විෂාදය ඇතුළු  ලෙඩ රෝග කිහිපයකට මෙන්ම  රූපලාවණ්‍ය කටයුතු සඳහාද යොදා ගන්නා බවත් මෙය ඉතා වටිනා වාණිජ බෝගයක් බවත්ය.