වර්තමාන සමාජයේ දියණියකගේ ආරක්ෂාව සපයා ගැනීමට මවුපියන් උපදෙස් ලබා දීම මෙන්ම දියණිය විසින් ද සමාජය දෙස විපරම් ඇයින් බැලීම අත්‍යවශ්‍ය වනවා.
පාසල් වැන් රථවල ගමන් ගන්නා දරු දැරියන්ට ද මනා අවබෝධයක් ලබාදීම මෙහිදි බෙහෙවින් වැදගත් වනවා. මේ පිළිබඳව මනා අවබෝධයෙන් සිටීමෙන් ඔබේ දරුවන් අපයෝජනයට ලක්වීමෙන් වළක්වා ගත හැකියි.බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ පැහැදිලිව ම දක්වා තිබෙනවා.
මව්පියන් විසින් දරුවන් උදෙසා කළ යුතු යුතුකම් සම්බන්ධව.මේ නිසා මව්පියන් නිරතුරුවම දරු දැරියන් ගැන අවබෝධයෙන් සිටිය යුතුයි. මව්පිය දූදරු සබඳතා හොඳින් තහවුරු වන්නේ එවිටයි. යුතුකම් අගයන සාමකාමී සමාජයකට මග පෑදෙන්නේ එසේ අප වගකීම් පිළිබඳ අවබෝධයෙන් සිටියහොත් පමණයි.දරු දැරියන් සහභාගී වන විවිධ ක්‍රීඩා තරග, බාලදක්ෂ කඳවුරු වැනි රාත්‍රී නිවසින් පිටව සිටින අවස්ථාවල දීත් දරු දැරියන් විවිධ අපචාරයන්ට ගොදුරු වීමට ඉඩකඩ ඇතිවිය හැකියි. එම නිසා මව්පියන් සැමවිට ම තම දරුවන් ඇසුරු කරන පුද්ගලයන් ගැන මෙන්ම නිවසින් බැහැරව රාත්‍රී වැඩසටහන් කඳවුරු ආදියට සහභාගී වනවා නම් පෞද්ගලිකව ම අවධානය යොමු කළ යුතුයි.අප ඇතැම්විට දියණියන් ආරක්ෂා කරනවාට වඩා ඇය අනාරක්ෂිත කරන බවයි පෙනෙන්නේ.
දියණියක වැඩිවියට පත් වූ විට කුමක් ද කරන්නේ ?
ගමටම කියල කොටහලු මගුල් ගෙවල් ගන්නවා. අප මොකක් ද එයින් අදහස් කරන්නේ. මොකක් ද එතනින් වෙන්නේ.අපි ගමට ම පෙන්නුම් කරනවා අපේ ගෙදරත් වැඩිවියට පත් වූ දැරියක් ඉන්නවා කියලා.මේක දැරියකගේ ආරක්ෂාවට තර්ජනයක් නොවෙයි ද? දැරියක් සම්බන්ධව කටයුතු කළ යුතු ආකාරය පිරිමි දරුවන්ට වඩා ලොකුවෙනසක් නැහැ. එහෙත් ඇය කුඩා කල හොඳින් ආරක්ෂා කර ආවාහ විවාහ සඳහා යොමු කළ යුතුයි.පෙර කීවාක් මෙන් "සිගාලෝවාද සූත්‍රයේ" ඒ බව මනාව දක්වා තිබෙනවා. නමුත් අද අපේ ආර්ථික රටාව අනුව මේ තත්වය වෙනස්ව ගොස් ඇති බවක් පෙනෙන්නට තිබෙනවා.ස්වාමිපුරුෂයා විදේශගතව සිටිනවා නම්, බොහෝ මව්වරුන් විසින් දියණියගේ ආරක්ෂාවට හිතවත් පිරිමි දරුවකු
යොදවනවා. අතිරේක පන්ති යන්නේ, නගරයට යන්නේ මේ අයියත් එක්ක.
ඒ පිරිමි දරුවා අනිවාර්යයෙන් ම දැඩි හිතක් ඇති කර ගන්නවා. මේ නංගී මට ලැබෙයි කියා. අම්මත් කැමතිනෙ ප්‍රශ්නයක් නෑ.අන්තිමට කුමක් ද සිදුවන්නේ. ක්ෂණයකින් මව දැරිය ඉවත් කර ගන්නවා. අර තරුණයා එක්ක කිසිදු ගමනක් යවන්නේ නෑ. එවිට අර තරුණයා තමන්ට කරන්න පුළුවන් මොකක්ද?
ඒ දේ කරනවා. පලිගැනීම, වෛරය ඔහුගේ හිත්තේ හටගන්නවා. මේවා අප පැහැදිලිව නොදකින සමාජයේ තැන් තැන්වල දකින්න තියෙන දේ. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය හට ගැනීම තුළ ඕනෑම අපරාධයකට යොමු විය හැකි බව බුදු දහමේ දැවෙනවා.. සෑම විටම මව්පියන් දරුවන්ගේ සැබෑ ආරක්ෂකයන් විය යුතුයි. සමාජයට පේන්න පමණක් ආරක්ෂකයන් වී පලක් නැහැ. දියණියගේ ආරක්ෂාව පතා ඇතැම් මව්පියන් දියණිය තනියම ත්‍රීරෝද රථයක නංවා යවනවා. මෙය එක් පැත්තකින් ආරක්ෂාකාරී වන විට තවත් පැත්තකින් අනාරක්ෂාකාරී වනවා.
මේ නිසා මොනතරම් දන්නා අඳුනන අයකු සමග වුවත් දියණියක තනිව ත්‍රීරෝද රථයක නොයැවිය යුතුයි. ඒ වගේම ත්‍රීරෝද රථයක ගමනාන්තයට ගොස් ගාස්තුව විමසූ විට එහි රියදුරා සල්ලි එපා නංගී' නැත්තං ගාස්තුව ප්‍රකාශ කිරීම මග හරින්නේ නම් එතන ප්‍රශ්නයක් තිබෙනවා. තරුණ දූ දරුවන්ට වගේම මව්පියන් ද ඒ ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි.
තමන් හරි හම්බ කර ගන්න ස්වයං රැකියාවේ මුදල අනවශ්‍යයි කීමට ඇති හේතුව කුමක් ද? මේ කරුණ හොඳින් සිතා බැලිය යුතුයි. අපට සමාජ අවබෝධයක් තිබිය යුත්තේ මේ තත්වයන් තේරුම් ගැනීමට යි. මාළුවා බිලී පිත්තේ අමුණා ඇති ඇම කරා එන්නේ ඇයි? ඒ ඇමට අමුණා ඇති පණුවා දගලන නිසයි. ඒ වගේ ම අපේ දැරියනුත් අනවශ්‍ය ලෙස දැඟලීම් පෙන්නුම් කළහොත් ගැටලු මතුවන බව හොඳින් තේරුම්ගත යුතුයි.පාරේ සංවර ලෙස ගමන් කරන තරුණියකට හා දකින දකින සියලු දෙනා සමග උසුළු විසුළු කරමින් ගමන් ගන්නා තරුණියකට ලැබෙන ප්‍රතිචාර ගැන මොහොතක් කල්පනා කර බලන්න.
විශාඛාවගේ පියා ඇයට දුන් ඔවදන් ගැන සිතා බලන්න. යහපත් ජීවිතයක් උදෙසා ඇයට ලබා දුන් උපදෙස් නිසා බුදු දහම අනුව ම දිවිය හැඩ ගස්වා ගැනීම කෙතරම් වැදගත් ද? වසර 2600 කට පෙර පියෙකු විසින් දියණියකට ලබා දුන් උපදෙස් අද දියණියට වැදගත් වන්නේ නම් බුදු දහමේ දක්වා ඇති සෙසු ධර්මතා කෙරෙහිත් අප අවධානය යොමු කළ යුතු නොවේ ද? 'සිගාලෝවාද සූත්‍රය'අනුව මව්පියන්ගේ ප්‍රධානම වගකීමක් වන්නේ දරුවන් යහපතෙහියෙදවීම යි. මෙහිදී දරුවන් සමාජ ව්‍යසන කෙරෙහි දැනුවත් කිරීම මුල් තැනක් ගන්නවා.දරු දැරියන්ට සමාජීය දැනුම අඩුයි. සුද්ධෝදන රජුගේ ඉල්ලීම පරිදි දෙමාපියන්ගෙන් අවසර නොමැතිව දරුවන් පැවිදි නොකරන ලෙස බුදුරජාණන් වහන්සේ විනය නීතියක් පනවා තිබෙන්නේ එම නිසයි. මේ නිසා වත්මන් සමාජයේ ජීවත් විය යුතු ආකාරය ගැන මව්පියන් තම දියණිවරුන් විශේෂයෙන් දැනුම්වත් කළ යුතුයි.
තැනට සුදුසු නුවණ භාවිත කිරීමේ ගුණය ගැන මෙහි දී අප සිහි තබා ගත යුතුයි. එමෙන්ම අප සතුව සැම විට ම ඉවසීම ද තිබිය යුතුයි. අද බොහෝ තරුණ ජීවිත අකාලයේ අපට අහිමි වන්නේ ඉවසීම නැතිකමින්.ඒ වගේ ම, සියලු ම දරුවන්ට උදේ සවස මල් පහන් පූජා කරල බුදුන් වඳින්න සලස්වන්න. අඩුම ගානේ ඉතා පහසු කරණීය මෙත්ත සූත්‍රයවත් ඔවුන් ලවා සජ්ඣායනා කරවන්න. එවන් දරු දැරියන්ට හානියක් වෙන්නේ නැහැ. අද පාසල් අවසන් වන විට "ඡත්ත මානවක ගාථා" ගායනා කරනවා. එයින් දරු දැරියන්ට හොඳ ආරක්ෂාවක් ලැබෙනවා. අපේ සමහර අයගෙ මතයක් තියෙනවනෙ අමනුස්සයො ඉන්නව කියල සැක හිතෙන තැන්වලින් යනකොට නරක වචන පාවිච්චි කිරීම හොඳයි කියල.
නරක දේ නරකම යි. ඒකේ ඇති හොඳක් නෑ.තමන්ට බියක් සැකක් වූ විට දී 'ඉතිපිසෝ භගවා' එහෙමත් නැතිනම් 'සබ්බ පාපස්ස අකරණං' වගේ ගාථාවක් මුමුනන්න. ධර්මයට අනුව ආරක්ෂා වීම එසේ කිරීමට පුළුවන්. තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගත යුතුයි. වැදගත් වන්නේ එයයි. අපට කළ හැක්කේ උපදෙස් දීම පමණයි.
- පූජ්‍ය දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි
0 Comments