equador-jail-riot-clashes-break-out-at-litoral-penitentiary-leaves-68-inmates-dead-and-25-wounded

දකුණු ඇමරිකානු රටක් වන ඉක්වදෝරයේ Guayaquil නගරයේ Littoral බන්ධනාගාරයේ සිරකරුවන් සෙනසුරාදා (13) ගැටුම් ඇති කරගෙන තිබේ. ගැටුමේදී සිරකරුවන් 68 දෙනෙකු මිය ගිය අතර සිරකරුවන් 25 දෙනෙකු තුවාල ලබා ඇත.  සිරකරුවන් 700 ක් පමණ රඳවා සිටින බන්ධනාගාරයේ මණ්ඩප 2 හි මෙම සිදුවීම සිදුව තිබේ. සිරකරුවන්ගේ සටන් වලදී පුපුරණ ද්‍රව්‍ය සහ පිහි භාවිතා කර ඇතැයිද මෙට්ට ද පුළුස්සා ඇතැයිද කියැවිණි.

සිකුරාදා රාත්‍රියේ සිට සෙනසුරාදා අලුයම දක්වා කාලය තුළ බන්ධනාගාරය තුළ මෙම කලහකාරී තත්ත්වය හටගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.


පොලිසිය මැදිහත් වී තත්ත්වය පාලනය කළේය. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පාර්ශවයන් අතර ගැටුම ඇති විය. ඉක්වදෝර ජනාධිපති Guillermo Lasso ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ආරක්ෂක කමිටුවක් පත්කිරීමට තමන් නියෝග කළ බවයි.

බන්ධනාගාරයේ තිබී රයිෆල් සහ ඩයිනමයිට් කූරු සොයා ගත් බව  දේශීය පුවත්පතක් වන එක්ස්ප්‍රෙසෝ වාර්තාකර තිබේ. ඊට අනුව , බන්ධනාගාර පරීක්ෂණවලදී නියෝජිතයන් රයිෆලයක් සහ ඩයිනමයිට් කූරු රාශියක් සොයා ගෙන ඇත. 

බන්ධනාගාරය තුළ ඇති වූ කලහකාරී තත්ත්වයත් සමඟ බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂක අංශ විශාල පිරිසක් යොදවා තිබේ.

බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත රැඳවියන්ගේ ඥාතීන් රැඳවියන් පිළිබඳ යම් තොරතුරක් බන්ධනාගාර පරිපාලනය විසින් ලබාදෙන තෙක් බලා සිටිනුද වාර්තා විය.

සිරකරුවන් මිය ගිය කෝලාහලය ඇතිවූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් සිරකරුවන්ගේ ඥාතීන් පිළිතුරු ඉල්ලා සිටි බවද වාර්තාවේ.

ඉක්වදෝර බන්ධනාගාරවල විරුද්ධ පාර්ශ්ව අතර සටන් බහුලව දක්නට ලැබේ. මේ වසරේ මේ දක්වා මෙම සටන් වලින් සිරකරුවන් 300 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත. තවත් සටනක් සැප්තැම්බර් 29 වන දින ලිටෝරල් සිරගෙදරදී සිදු වූ අතර එහිදී සිරකරුවන් 118 දෙනෙකු මිය ගියහ.


මෙය එරට ඉතිහාසයේ මෙතෙක් සිදු වූ දරුණුතම කැරැල්ලයි. මෙම සිද්ධියෙන් පසු ප්‍රචණ්ඩත්වය නැවැත්වීම සඳහා ජනාධිපතිවරයා දින 60 ක හදිසි නීතියක්ද රටේ බන්ධනාගාර තුළ පනවා තිබුණි.
(අල්ජසීරා ඇසුරිනි - Gossiplankanews.com)