මේ වන විට රට තුළ තෙල් හිඟයක් නොමැති බවත්,  ඇතැම් ස්ථානයක යම් තෙල් අඩුවක් පවතියි නම් එම  ස්ථානවලට දින දෙකක් වැනි කාලයක් තුළ තෙල් ලබාදීමට හැකි බවත් බලශක්ති අමාත්‍ය කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා පැවසීය.   විදේශ විනිමය අර්බුදය විසඳෙන තුරු භාණ්ඩ හිඟතාවට මුහුණදීමට සිදුවන  බවත්, ඊට දිගුකාලීන විසඳුම් ලබාදීමට කටයුතු කරන අතරම කෙටිකාලීන විසඳුම් වශයෙන් විදේශ රටවල් කිහිපයකින් ණය ලබාගෙන මෙම පවතින අර්බුදය සමනය කිරීමට මෙන්ම භාණ්ඩ හිඟය හැකි  ඉක්මනින් විසදීමට ආණ්ඩුව කටයුතු කරන  බවත් ගම්මන්පිල අමාත්‍යවරයා පවසා  සිටියේය. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (16දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.




එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,  "සමස්ත ලෝකයේ බොහෝ ධනවත් රටවල් පවා බලශක්ති අර්බුදය හේතුවෙන් අඳුරේ ගත කළ දින තිබුණත්, විවිධ  දුෂ්කරතා මධ්‍යයේ වුවද, මෙරටට අවශ්‍ය  ඉන්ධන අඛණ්ඩව සැපයීමට සහතික  කර තිබෙනවා. එහෙත් ආයතනයේ සේවකයෙකුවත් නොවන, කිසිඳු තනතුරක්  නොදරන පුද්ගලයෙක් විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද අසත්‍ය ප්‍රකාශවලින් ජනතාව නොමඟ යැවීමට කටයුතු කරලා තියෙනවා අවස්ථා හතරකදීම. විස්වසනීය මාර්ගවලින් ලබාදෙන තොරතුරුවල වුවද සත්‍ය අසත්‍යතාවය තහවුරු කරගෙන  මාධ්‍ය මගින් ජනතාව වෙත ඉදිරිපත් කරන්න කියන ඉල්ලීම් කරනවා” යැයි  සඳහන් කළේය.


එමඟින් ජනතාව අනිසි ලෙස කලබලකාරී වී අනවශ්‍ය ලෙස ඉන්ධන ගබඩා කිරීමට තැත්කිරීම හේතුවෙන් තාවකාලිකව ඉන්ධන සැපයුම අඩාළ වීමක්  නම් ඇති විය හැකි බව අමාත්‍යවරයා පවසා සිටියේය. බොරතෙල් මිලදී ගැනීමේ දුෂ්කරතාව හේතුවෙන් සපුගස්කන්ද තෙල්පිරිපහදුව වැසීම පිළිබඳ තමන් විසින් මාධ්‍ය වෙත මීට පෙර අනාවරණය කර ඇති බවත්, එහි බලපෑම් තෙල් සංස්ථාවට පමණක් බලපාන අභෘත්තර කරුණක් වන බවත්, එමඟින් මෙරට ඉන්ධන හිඟයක් ඇති නොවන බවත් හෙතෙම මෙහිදී සඳහන් කළේය.  විපක්ෂනායකවරයා විසින් ඊයේ දිනයේදී මෙට්‍රික් ටොන් 6500ක  ධාරිතාවයක් සහිත සපුගස්කන්ද තෙල්  පිරිපහදුව වසා දැමීමෙන් ඉන්ධන හිඟයක් ඇතිවේය යන වැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් කරුණු ඉදිරිපත් කළ බවත්,

එහෙත් එලෙස මෙට්‍රික් ටොන් 6500ක ධාරිතාවක් තිබුණේ එහි ආරම්භක අවධියේ බවත්, මෙම තෙල් පිරිපහදුව සකස් කර ඇත්තේ ඉරානියන් ලයිට් නමැති බොරතෙල් වර්ගය පිරිපහදු කිරීම සඳහා බවත්, එහෙත් 2012 සිට සම්බාධක පැනවීම හේතුවෙන් එම ඉන්ධන වර්ගය ආනයනය කළ නොහැකිව තිබෙන බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය. සපුගස්කන්ද තෙල් පිරිපහදුව පෞද්ගලීකරණය කිරීමක් සිදු කෙරේද යන්න පිළිබඳ ප්‍රශ්න නැගීමේ කිසිඳු  පදනමක් නොමැති බව බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මාධ්‍යවේදියෙක් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.   එමෙන්ම රජය විසින් මිලදී ගන්නා ඉන්ධනවලට වඩා අඩු මිලට ඉන්ධන මිල දී ගත හැකි සැපයුම්කරුවෙකු සිටී නම් ඉදිරිපත් කරන ලෙස තමන් විපක්ෂනායකවරයාට අභියෝග කරන බවත්, එසේ කළ නොහැකි නම් අසත්‍ය පුවත් ප්‍රචාරය කිර්ම සම්බන්ධව ජාතියෙන් සමාව ගත යුතු බවත් උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.