ප්රධාන ගෑස් සමාගම් දෙකම මාස කිහිපයක සිට හිස් ගෑස් සිලින්ඩර පාරිභෝගිකයන්ට අලෙවි නොකිරීම හේතුවෙන් කළුකඩ වෙළෙඳුන් කිලෝ ග්රෑම් 12.5ක හිස් ගෑස් සිලින්ඩරයක් රුපියල් 15,000ත් 20,000ත් අතර මිල ගණන් යටතේ අලෙවි කරන බව පාරිභෝගිකයෝ පවසති. ගෑස් හිඟය ඇති වීමට පෙර ගෑස් සමාගම් කිලෝ ග්රෑම් 12.5ක හිස් ගෑස් සිලින්ඩරයක් අලෙවි නියෝජිතයන් හරහා පාරිභෝගිකයාට අලෙවි කළේ, රුපියල් 4,250ක පමණ මිලකටය. එහෙත් ලෝක වෙළෙඳපොළේ යකඩ මිල ගණන් අධික ලෙස ඉහළ යාමත් සමග ගෑස් සමාගම් පාරිභෝගිකයාට අලුතින් හිස් ගෑස් සිලින්ඩරය අලෙවි කිරීම අත්හිටුවා ඇතැයි එම සමාගම් කියයි. මේ නිසා වැඩියෙන්ම පීඩාවට පත්ව ඇත්තේ ලාෆ් පාරිභෝගිකයන් වන අතර, එම ගෑස් නිසි පරිදි නොලැබීම නිසා ඔවුන්ට ලිට්රෝ ගෑස් සිලින්ඩරයට මාරු වීමට ද නොහැකි වී ඇත.
එම තත්වය තුළ ලිට්රෝ හිස් සිලින්ඩර වැඩිපුර ඇති වෙළෙඳුන් හා පුද්ගලයන් වැඩි මිල ගණන්වලට එම සිලින්ඩර අලෙවි කිරීමට පටන් ගෙන ඇත. ඒ අනුව, ඔවුන් අන්තර්ජාලයේ දැන්වීම් පළ කර තිබෙන අතර, ඒවායෙහි බොහොමයක මිල ගණන් ලෙස දක්වා ඇත්තේ, කිලෝ ග්රෑම් 12.5ක හිස් ගෑස් සිලින්ඩරයක් රුපියල් 15,000ත් 20,000ත් අතර මිල ගණන්ය. ඊට අමතරව, කිලෝ ග්රෑම් 5ක හිස් ගෑස් සිලින්ඩරයක් රුපියල් 8,000ත් 12,000ත් අතර මිල ගණන් යටතේ අලෙවි කරන බව ද එම දැන්වීම්වල සඳහන් වේ.
මේ අතර, ලාෆ් ගෑස් සමාගම හෝටල් හා කර්මාන්තශාලා සඳහා නිකුත් කරන කිලෝ ග්රෑම් 37.5ක හිස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 19,000ක් දක්වා දෙගුණයකටත් වැඩි මුදලකින් ඉහළ නංවා ඇතැයි පාරිභෝගිකයෝ සඳහන් කරති. එම හිස් සිලින්ඩරය මීට සතියකට පමණ පෙර අලෙවි කරනු ලැබුවේ රුපියල් 8,900කටය. ප්රධාන ගෑස් සමාගම් දෙකේක්ම හිස් සිලින්ඩර කළුකඩ වෙළෙඳුන් විසින් මේ ආකාරයට හිතූ හිතූ පරිදි අලෙවි කරනු ලැබීම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිති.
-ක්රිෂාන් ජීවක ජයරුක්--
0 Comments