j-a-sumith-speaks

කෘෂිකර්ම අමාත්‍යංශයේ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් නිලධාරී ආචාර්ය ජේ.ඒ සුමිත් මහතා වහාම ක‍්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කිරීමට කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ පියවර ගත්තේය.
ග්ලයිකොෆොස්පේට් රසායන ද‍්‍රව්‍ය කිහිපයක තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම ඊට හේතුවිය.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා ඊයේ පැවති ප්‍රවෘත්ති
සාකච්ඡාවකදී පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා පළ කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් පෙන්වා දුන්නේ, පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගේ තනි කැමැත්තට ගැසට් පත්‍රයක් පළ කළ
හැකි ද? යන්න ගැටලුවක් බව ය.
මෙය ඔහුගේ තනි කැමැත්තට පළ කළ ගැසට් පත්‍රයක් නොවිය හැකි බව ත්, මේ සඳහා යම් කිසි
පාර්ශවයක සහයක් ලැබී තිබිය හැකි බව ත් ඔහු පැවසීය.
මේ අතර සිදුවීම සම්බන්ධයෙන් කතා කළ රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ.සුමිත්,
තමා නීති විරෝධී දෙයක් කර නැති බැවින් සිය තනතුරට ගැටලුවක් ඇති නොවන බවත්, තමා කටයුතු කර ඇත්තේ පළිබෝධ නාශක තාක්ෂණික හා උපදේශක කමිටුවේ සහ කැබිනට් මණ්ඩලයේ උපදෙස් මත බවත් පවසයි.


වල් නාශක ලෙස ගැනෙන ග්ලයිෆොසෙට් සහ ප්‍රොපනිල් යන දෙවර්ගයද, කෘමි නාශක යටතට ගැනෙන කාබරිල්, ක්ලෝෆයිරිපොස් සහ කාබොෆියුරාන් යන පළිබෝධ නාශක භාවිතය සහ විකිණීම තහනම් කරමින් නිකුත් කරන ලද ගැසට් පත්‍රය අවලංගු කර වර්තමාන පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ.සුමිත් විසින් පෙරේදා (22 වැනිදා) ගැසට් පත්‍රයක් නිකුත් කරන ලදි.

මෙලෙස පෙරේදා (22 වැනිදා) ප්‍රකාශයට පත් කෙරුවේ මීට වසර තුනකට පෙරදී නිකුත් වීමට තිබූ ගැසට් නිවේදනයක් බවද රෙජිස්ට්‍රාර්වරයා පැවසීය.

ග්ලයිෆොසෙට් වල් නාශකය තේ සහ රබර් වගාවන් සඳහා යොදා ගැනීමේ තහනම ඉවත් කිරීමට 2018 වසරේදී කැබිනට් මණ්ඩලය තීරණයක් ගත් බවත්,ප්‍රොපනිල් නමැති වල් නාශකයට තිබෙන තහනම ඉවත් කිරීම සඳහා නිර්දේශයක් තිබෙන බවත් ඔහු කීවේය.

කෘමිනාශක වර්ග තුන තහනම් කර තිබෙන්නේ 2016 වසරේදී නිකුත් කරන ලද වෙනම ගැසට් පත්‍රයකින් බවද ඔහු කියයි.



කලින් ගත් තීරණයක් නීත්‍යනුකූලව ප්‍රකාශයට පත් කිරීම පමණක් තමා සිදුකළ බවත්, මෙම ගැසට් පත්‍රය 2018 වසරේදී ප්‍රකාශයට පත්වීමට නියමිතව තිබුණද, එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් ලැබුණේ ඉකුත් සතියේදී බවද ආචාර්ය ජේ.ඒ. සුමිත් පැවසීය.

මෙම ගැසට් පත්‍රය මගින් පළිබෝධ නාශක ගෙන්වීම සඳහා අවසරයක් ලබාදී නැති බවද ඔහු කියයි.

නීති විරෝධී කටයුත්තක් කර නොමැති නම් රාජ්‍ය නිලධාරියකු තනතුරුවලින් පහ කිරීමට නොහැකි බවද ආචාර්ය ජේ.ඒ. සුමිත් වැඩිදුරටත් පැවැසීය.