joseph-stalin-speaks

මුලදී තැන් තැන්වල කෑගසන කිසිදා ඉටු නොවූ ඉල්ලීමක් බවට පත්ව තිබූ ගුරු ප්‍රශ්නය තීරණාත්මක තලයකට ආවේ පසුගිය ජූලි මාසයේදීය. සංඝයා වහන්සේලාත් ගුරු මෑණිවරුත් පොලිසිය උස්සාගෙන ගොස්
නිරෝධායනයට කියා මුලතිව් හි සෞඛ්‍ය කඳවුරක අට දිනක ‘දඩුවමක්‘ ගත කරවූ පසු මෙය රජයට එරෙහි රැල්ලක් බවට පත්විය.
 සමාජ මාධ්‍යයන් තුළින් ජෝසෆ් ස්ටාලින් වීරයෙකු ලෙස මතු කරවූයේද තවත් අය නිර්දය ලෙස මඩ ගැසුවේද ඒ නමම තැබුණ සෝවියට් නායකත්වය හෙබැවූ අතීත පුද්ගලයා ක්‍රෙම්ලිනයට තර්ජනයක් සිදු කළ කාලයේ අයුරිනි.උඩු රැවුලක් සහිත ඒ ජෝජියානුවා මෙන් නොව, මේ ජොසෆ් ස්ටාලින් වෘත්තීය සංගම් නායකයෙකි. මුළු සේවා කාලය ම දුරස්ථ පාසල්වල සේවය සඳහා ගෙවූ හෙතෙම වෘත්තීය සංගම් කටයුතු වෙනුවෙන් රජයෙන් ලබාගත හැකි නිවාඩු ලබාගෙන ඒ වෙනුවෙන් දෛනිකව කැප වී සිටී.

ඔහුගේ පියා වූයේ එකල ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ෂන්මුගනාදන් සහෝදරයා නායකත්වය දුන් චීන පිලට සම්බන්ධව සිටි ඇන්ටන් ප්‍රනාන්දු ය. හෙතෙම ස්වකීය එකම පුත්‍රයාට සෝවියට්
නායකයාගේ නම තැබුවේ ඔහු විප්ලව කරුවෙකු කරවන්නටදැයි නොදනී. මඩ ප්‍රහාර අතරදී නම් ඔහුට ‘කාලකණ්නියා‘ නමද වැටුණි.



ගුරුවරු මහමගට බස්සවා විරෝධතා ව්‍යාපාර කරගෙන යාම සහ ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලින් ගුරුවරුන් ඉවත් කරවීම සම්බන්ධයෙන් ජෝසප් ස්ටාලින්ට චෝදනා රාශියක් එල්ල වූ අතර එම කරුණු සම්බන්ධයෙන් විමසීමේදී ඔහු මෙසේ කියා තිබුණි.

ඔබ ගුරුවරු පාරට බස්සලා විරෝධතා කරනවා නමුත් ඔබ ගුරුවරයෙක් ද කියන ප්‍රශ්නය නගනවා ?

මම ගුරුවරයෙක් හැටියට කටයුතු කරනවා. අවුරුදු 30කට ආසන්න කාලයක් මම සේවය කරනවා.

ගුරුවරයෙක් වුණ ඔබ පූර්ණකාලීනව වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙක් විදියට කටයුතු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙනවා.?

සාමාන්‍ය යෙන් වෘත්තීය සමිතියක වරප්‍රසාදයක් තියෙනවා, ඕනෑම රජයේ ආයතනයකින් වෘත්තීය සමිතියකට පූර්ණකාලීනව නිදහස් වෙන්න. ඒ අයිතිය මමත් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේ ම වෙනත් අයත් එහෙම නිදහත්වෙලා ඉන්නවා. ඒක අපේ අයිතියක්. මම ගුරුවරයෙක් හැටියට ලංකා ගුරු සංගමයේ හිටියාට හෙද සංගම්වල හාමුදුරුවරු ඉන්නවා. ඒක වරදක් නෙමෙයි. මොකද වෘත්තීය සමිතිවලට පුළුවන් තමන්ගේ ක්ෂේත්‍රයේ නොවන වෙනත් දෙදෙනෙක් තමන්ගේ වෘත්තීය සමිතියේ තියාගන්න.

ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලින් ගුරුවරු ඉවත්වීම සමග ඔබේ සංගමයට දෝෂාරෝපණයක් එනවා?

 ළමයින්ගේ අධ්‍යාපනය අනතුරේ දැම්මා කියලා. මේ ළමයින්ට අවුරුද්දකුත් මාස නමයකට වැඩි කාලයක් කිසිදු අධ්‍යාපනයක් දෙන්න ආණ්ඩුව අසමත් වුණා. ගුරුවරු ස්වේච්ඡාවෙන් තමයි ළමයින්ට ඔන්ලයින් අධ්‍යාපනය දෙන්න පටන් ගතේ, ගුරුවරු කැප කිරීමක් කරලා තමන්ගේ අතේ මුදල්වලින් තමන්ගේ උපකරණවලින් මේ දේවල් කරන්නේ. නමුත් ඔන්ලයින් අධ්‍යාපනය ලබන්නේ ලංකාවේ හතළිස් තුන් ලක්ෂයක් ළමයින්ගෙන් සියයට හතළිහයි. සියයට හැටකට කිසිදු අධ්‍යාපනයක් නෑ. ආණ්ඩුවේ වගකීමක් තමයි පාසල් වැහුණට පස්සේ දුරස්ථ ක්‍රමවේදයට අනුව අධ්‍යාපනය ලබා දෙන එක. එයට ආණ්ඩුව අසමත් වී. සිටියදී තමයි ගුරුවරු තමන්ගේ මුදල්වලින් මේ වැඩේ පටත් ගත්තේ ඒකත් සමහර තැන්වල අධීක්ෂණය කරන්න ගියා.

 ගුරුවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක් වෙනුවෙන් ඉගැන්වීම් නවත්තලා තිබුණා?

ඉතින් මන්ද ඒකෙ වරද? දෙමව්පියෝ දැනගන්න ඕනෑ දරුවන්ට ආදරේ ගුරුවරු තමන්ගේ මුදලින් කරපු අධ්‍යපනයක් තමයි ඔන්ලයින් අධ්‍යාපනය කියලා.
අරගලය නා කියන්නේ ආණ්ඩුවට කඩේ නොයා. අපි අපේ යුතුකම ඉටු කරනවා.
අපිට එවැනි කතා කියන්නේ ආ යන ඔවුන්ට හිතවාදී කණ්ඩායම්.



ගුරු සංගමේ ජයගත්ත තව සටන් තියද?
2012 ඉසෙඩ් කෝර් අර්බුදයක් ආව වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරලා විශ්වවිද්‍යාලවලට ළමයි 15,000ක් අලුතෙන් ඇතුළත් කරන්න ඉඩහසර අරන් දුන්නේ අපි. ලංකා ගුරු සංගමය දාපු නඩුවක් ඒක. ළමයිගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි පෙනී හිටිනවා. විශේෂයෙන් ම ඔවුන්ගේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන්.මේ අරගලය සියලු පාර්ශ්ව එකාවන්ව කරන අරගලයක්. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ගේනකොට, සයිටම් එක ගේනකොට, නිදහස් අධ්‍යාපනයට අත තියනකොට ඒවට විරුද්ධව අරගල තිබුණා. ඉතිහාසෙන් ම පාඩම් අපි දීලා තියෙනවා. වර්තමානයේත් එහෙමයි.

ඔබ ජාත්‍යන්තරය හමුවේ රට අපකීර්තියට පත් කිරීමට උත්සහ ගන්නවා කියල ඇතැමුන් ප්‍රකාශ කරනවා.?

ලංකාවේ ආණ්ඩුව යුක්තිය ඉටු කරන්නේ නැත්නම් ජාත්‍යන්තරයට යෑමට ඕනෑ ම කෙනෙකුට අයිතියක් තියෙනවා. ඒ අයිතිය අපි  භාවිත කරනවා.
මේ වෙනකොට තිබුණ මර්දනය සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය විදියට අපි යුරෝපා සංගමයට, එක්සත් ජාතීන්ගේ සංවිධානයට එහෙම ලියලා තියෙන්නේ. ආණ්ඩුව පැහැදිලිව ම මර්දනකාරී ක්‍රියාමාර්ගයක් ගන්නවා නම්, ආණ්ඩුව නම් වගඋත්තරකරුවා ආණ්ඩුව මේක කරන්නේ නැත්නම් අපි අනිවාර්යයෙන් ජාත්‍යන්තරයට යනවා. ඒක අපේ අයිතියක්. ඒක කාටවත් වළක්වන්න බැහැ. ඒ වගේ ම අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තුනක් දාලා තියෙනවා. මූලික අයිතිවාසිකම් නඩුවකුත් දාලා තියෙනවා.
ඕනෑ ම අරගලයකදී ඒකට මඩ ගහන එක සාමාන්‍ය දෙයක් අපේ රටේ. එහෙම කළාට මඩ ගහන අය නෙමෙයි අරගලකරුවෝ තමයි ජය අරන් තියෙන්නේ.