karannagoda-case-court

තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගොනුකර තිබෙන අධි චෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා ගත්  තීරණයට හේතු වූ කරුණු  සම්බන්ධයෙන් වන රහසිගත වාරතාවක් ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (01) නීතිපතිට අවසර දුන්නේය.   ඒ අනුව එම වාර්තාව අධිකරණයට අද (2) ඉදිරිපත්  කරන ලෙසද නීතිපතිවරයාට නියම කෙරිණි. ඒ සම්බන්ධයෙන් වන ලිඛිත දේශන මෙම මස 03 වැනිදා ට පෙර ගොනු කරන ලෙස  පෙත්සම්කාර පාර්ශ්වයට නියම  කළේය.



එම කරුණු සහිත රහසිගත වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුව සතුව ඇති බැවින් එය ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා කළ ඉල්ලීම පිළිගත් අධිකරණය මෙම අවසරය දුන්නේය.  හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ  විනිසුරු මඬුල්ල හමුවේ ගොනුකර තිබෙන අධි චෝදනා ඉවත් කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා අතුරුදන්වූ තරුණයන්ගේ දෙමවුපියන් හතර දෙනකු ගොනු කළ රිට් පෙත්සම ඊයේ අභියාචනාධිකරණයේ කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙම ඉල්ලීම කළේය. සෝහිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවිණි.

නාවික හමුදා භට පිරිසක් විසින් තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ  මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල  මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ අධි චෝදනා ඉල්ලා අස්කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණය බලශුන්‍ය කරන රිට්  ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා  අතුරුදන්වූ එම තරුණයන්ගේ මවුපියන් හතර දෙනකු වන සරෝජනී පෙරේරා, ජෙනිෆර් වීරසිංහ, මර්වින් ප්‍රේමලාල්,  ජෙෆ්රියාස් සබ්රීන් යන මහත්ම මහත්මීන් මෙම පෙත්සම ගොනු  කර තිබිණි.  මෙම පෙත්සමේ  වගඋත්තරකරුවන් ලෙස නීතිපති සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා නම් කරනු ලැබ සිටිති.  එම පෙත්සමේ මෙසේ ද සඳහන් වේ.

පෙත්සම්කරුවෝ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන එච්.සී. (ටී.ඒ.බී ) 1448 / 2020 දරණ නඩුවට සම්බන්ධ සිද්ධියේ වින්දිතයගේ දෙමව්පියෝ වෙති.  පෙත්සම්කාර මවුපියන්ගේ දරුවන් ඇතුළු තරුණයන් 11 දෙනකු 2008 සැප්තැම්බර් 17 වැනි දින අතුරුදන් වූ බවට පොලීසියට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කෙරිණි.   මෙම අතුරුදන් වීමේ සිද්ධිය පිළිබද අපරාධ පරීක්ෂණේ දෙපාර්තමේන්තුව කරන ලද විමර්ශනයේදී නාවික හමුදාව මීට සම්බන්ධ බවට හෙළිවිය. මෙම විමර්ශනයේදී අතුරුදන් වූ තරුණයන් කොළඹ වරායේ "පිට්ටු බම්බුව" නමැති ස්ථානයේ රඳවා සිටි බවත්, ඉන්පසුව ත්‍රිකුණාමලය  නාවික හමුදා පීඨයේ ගන් සයිඩ් නමැති ස්ථානයේ රඳවා සිටි බවත් හෙළි විය. මෙම තරුණයන් මුදා හැරීමට නාවික භටයින් අල්ලස් ඉල්ලා සිටි බවත් හෙළි විය.

මෙම සිද්ධිය වූ කාලයේ නාවික හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළේ දෙවැනි වගඋත්තරකරු වන අතර, හෙතෙම ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත්තේය.

  මෙම තරුණයන් පැහැරගත් දිනට පසු දින පැවති ආරක්ෂක  රැස්වීමේදී නාවික හමුදාවේ උසස්  නිලධාරීන් වන ඩී.අයි.කේ.පී. දසනායක සහ ගුරුගේ නමැත්තන් සිද්ධිය පිළිබඳව පෙත්සමේ දෙවැනි වගඋත්තරකාර හිටපු  නාවික හමුදාපතිවරයාට දැනුම් දී ඇත. මෙම පැහැර ගැනීමට භාවිත කළ කළු පැහැති වෑන් රථයද ත්‍රිකුණාමලය නාවික හමුදා පීඨයේ දක්නට තිබිණි.

පැහැරගත් තරුණයගේ මළසිරුරු නාවික හමුදා පීඨයේ විධායක නිලධාරියකු වන ක්‍රිෂාන් චින්තක නමැත්තා දැක ඇත. එම සිද්ධිය සම්බන්ධ අපරාධ පරීක්ෂණ විමර්ශනයේදී සාක්කි දෙමින් නාවික හමුදා පීඨය එවකට බාරව සිටි රියර් අද්මිරාල්  ට්‍රේවිස් සින්නයියා කියා ඇත්තේ දෙවැනි වගඋත්තරකාර හිටපු නාවික හමුදාපතිවරයා එම ස්ථානයේ පිහිටි ගන් සයිඩ් නමැති ගොඩනැගිලේ කටයුතුවලට මැදිහත් නොවන  ලෙසට දැනුම් දුන් බවය. සිද්ධිය වූ කාලයේ කැබිනට් අමාත්‍යවරයකු වූ ෆීලින්ස් පෙරේරා මහතා මෙම තරුණයන් මුදා හරින ලෙස එවකට සිටි නාවික හමුදාපති  වූ දෙවැනි වගඋත්තරකරුගෙන් ඉල්ලා සිටියත්, ඔහු ඒ සම්බන්ධයෙන් පියවර ගෙන  නොමැත.

මෙම තරුණයන් පැහැර ගැනීමේ සිද්ධිය හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා හොඳින්ම දැන සිටි අතර මේ පිළිබඳ විමර්ශනයට සහාය දීම ඔහු හිතා මතා මගහැරියේය. මෙම අපරාධය පිළිබඳව තමන් දැන සිටි බව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාම පිළිගෙන තිබේ.  පුරා වසර 10 කට ආසන්න කාලයක් තිස්සේ කළ පරික්ෂණවලින් අනතුරුව දෙවැනි  වගඋත්තරකාර හිටපු නාවික හමුදාපතිවරයා ඇතුළු 14 දෙනකුට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් නඩු පවරන ලදී.  මේ අතර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි මේ සිද්ධිය සම්බන්ධ අධි  චෝදනා නොබෝ දිනකින් ඉල්ලා අස් කර ගන්නා බව නීතිපතිවරයා  මේ වන විට අධිකරණයට දැනුම්  දී ඇත.

නීතිපතිවරයාගේ මෙම තීරණය අයුක්තිසහගත, අසාධාරණ සහ ස්වභාව යුක්ත මූලධර්මයට පටහැනි වේ.  එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද, දෙවැනි වගඋත්තරකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි අධි චෝදනා ඉල්ලා අස් කර ගැනීමට  නීතිපති ගෙන ඇති තීරණය බලශුන්‍ය කරන රිට් ආඥාවක්  නිකුත් කරන ලෙසද, එම තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද  පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා සිටිති.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ නුවන් බෝපගේ මහතා පෙනී සිටියේය. නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතාද, වසන්ත කරන්නාගොඩ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාද පෙනී සිටියහ.

-තිළිණි ද සිල්වා-