kinniya-six-deaths-update

පාරු අනතුරකින් හය දෙනෙකු දියේ ගිලී මියයාමෙන් අනතුරුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තවුෆීක් මහතාගේ කින්නියා ප්‍රදේශයේ පිහිටි නිවසට ප්‍රදේශවාසීන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ප්‍රහාරයෙන් මන්ත්‍රීවරයාගේ නිවසට දැඩි හානි සිදුව තිබේ.
කින්නියා, කුරින්ජන්කේනි කලපුවේ දී මගී යාත්‍රාවක් පෙරලීමෙන් සිසුන් සිව් දෙනෙකු ඇතුළු මගීන් 6 දෙනෙකු දියේ ගිලී 20 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

වාර්තාවන අන්දමට  කින්නියා කුරිංගන්කේනි පාලමේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙම තොටුපළ ජනතාව ප්‍රවාහනය කිරීමට යොදා ගනිමින් තිබුණි.


මෙම අනතුර සිදුවූ කලපුවේ පාලම අලුතින් ඉදිකිරීම සම්බන්ධව මුල් ගල තබා ඇතිමුත් ඉදිකිරීම් අරඹන්නට දේශපාලකයින් උනන්දු නොවීම නිසා ජනතාව දිගින් දිගටම අපහසුතාවයෙන් පාරු ඔස්සේ එහා මෙහා ගමන් කර ඇත. අද දින අනතුරට හේතුවූයේ පාසල් යළි ආරම්භ කිරීමෙන් පසු උදෑසන වැඩි පිරිසක් එකම පාරුවට ගොඩවීමට දැරූ ප්‍රයත්නයේදී එය පෙරළී යාමයි.

අද සිදුවූ ඛේදවාචකයෙන් මියගිය අය අතර 30 හැවිරිදි කාන්තාවක්, ඇගේ 6 හැවිරිදි පුතා සහ අවුරුදු 3 ක දැරියක සිටි අතර එකම පවුලේ ගැහැණු ළමුන් දෙදෙනෙකු සහ 70 හැවිරිදි පුද්ගලයෙකු ද ජීවිතක්ෂයට පත්විය.
බේරාගත් පිරිස කින්නියා සහ ත්‍රිකුණාමලය රෝහල්වලට ඇතුළත් කර ඇත.
කින්නියා රෝහලේ ප්‍රතිකාර ලබන 19 දෙනා අතර ගැහැණු ළමුන් පස් දෙනෙකු සහ පිරිමි ළමුන් සිව් දෙනෙකු ද සිටින බව වාර්තා විය.ත්‍රිකුණාමලය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දැඩි සත්කාර ඒකකයේ සිටින 6 හැවිරිදි දැරියගේ තත්වය බරපතල බවද පැවසිණි.

ඛේදවාචකයෙන් පසු කින්නියා ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක්ද පැවති අතර පාර මැද ගිනි ගොඩවල් ගසා ජනතාව විරෝධය පළ කර තිබුණි.
සංවර්ධන ව්‍යාපෘති වලදී මෙවැනි අනතුරු වැළැක්වීමට බලධාරීන් නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නොමැති බව පවසමින් ප්‍රදේශවාසීන් දොස් පවරන ලද අතර මන්ත්‍රීවරයාගේ නිවසට ප්‍රහාර එල්ලවූයේ අනතුරුවයි.











සිද්ධිය සම්බන්ධ පෙර වාර්තා
සය දෙනෙකු මරු දුටු ත්‍රීකුණාමල - කින්නියා පාරු අනතුර හා පසුව ඇතිවූ හදිසි තත්වය Video
ත්‍රිකුණාමලයේ පාලම් පාරුවක් පෙරළි දරුවන් ඇතුළු 6 ක් මරුට 4 කට බරපතලයි Photos