koththu-baddegama-cctv-murder

බද්දේගම නාගොඩ පාරේ රාත්‍රී අවන්හලකට කොත්තු රොටි ගැනිමට පැමිණි තරුණයකු හා අවන්හල් හිමියා අතර ඇතිවූ ගැටුමකින් පසු එම තරුණයා පහරකා එතැනම මියයාමේ සිදුවීමක් ඊයේ වාර්තා විය.
වාර්තාවන ආකාරයට සිදුවීම මෙසේය.
බද්දේගම නගරයේ පිහිටි අවන්හලකට කොත්තුවක් මිලට ගැනීමට පැමිණි තරුණයා එය සකස්කර අවසන්වූ පසු අවන්හල් හිමියාට පවසා ඇත්තේ  කොත්තුවේ ප්‍රමාණය කුඩා බවයි. වෙනදාටත් මෙතැනින් කොත්තු ගන්නා තමාට දෙතුන් දෙනෙකුට සෑහෙන කොත්තුවක් ලැබුණ බව තර්ක කර ඇති ඔහු ඊයේ ලැබුණ කොත්තුව  එක්කෙනෙකුටත් මදි තරම් බවත් තමා ගෙවන මුදලට සාධාරණයක් නොවූ බවත් දන්වා ඇත.


එහිදී මුදලාලි පෙන්වාදී ඇත්තේ මේ දිනවල පවතින ගෑස් , පිටි ඇතුළු අනෙක් කළමනාවල මිල ඉහළයාම නිසා තමන්ගේ කොත්තුවේ ප්‍රමාණය අඩුකර ඇති බවත් සාධාරණ මිලක් ඒ වෙනුවෙන් දන්වා ඇති බවත්ය.
මෙහිදී ‘අපි ගෙදර ඔක්කොම කන්නයි මේක හදන් යන්න ආවෙ.. දැන් ඔහොම කරාම කොහොමද අපි අද රෑට කන්නේ..‘ ආදී ආකාරයට කොත්තු පාරිභෝගික තරුණයා හා මුදලාලි බහින්බස්වී ඇත.

මේක එපානං තියල යන්න ආදී ලෙසද පිලිතුරු ලැබී ඇත. එම අවස්ථාවේ කේන්තියට පත් තරුණයා කොත්තුව රැගෙන ගොස් ඇති නමුත් ඉහවහා ගිය කේන්තියෙන් ගෙදර ගොස් නැවත පැමිණ ඇත. එම අවස්ථාවේ ඔහු අත මන්නයක් තිබී ඇති අතර ඔහු මෝටර් සයිකලයෙන් බැස හෙල්මට්ටුවද පැළඳගෙනම කොත්තු මුදලාලි වෙත ගොස් මන්නයෙන් පහරදීමට උත්සාහ දරා ඇත.මුදලාලිට මන්නා පහරින් තුවාල සිදුව ඇත.

එම අවස්ථාවේ කඩේ කිහිප දෙනෙකු මෙම රණ්ඩුව බේරීමට මැද්දට පැමිණ ඇති අතර පහරදීම් වළක්වා තරුණයාව කඩෙන් එළවා දමා තිබේ. පහරදීමට උත්සාහ දරන අවස්ථාවේ තරුණයාට දෙන්නෙකු ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර මුදලාලිගේ පුතා මෝල් ගසකින් පහරදුන් අතරම කඩේ සේවකයෙකු පුටුවකින් පහරදී ඇත. හෙල්මටයද විසිවී තරුණයා කඩේ ඉදිරිපිට බිම වැටුණ පසුවත් මුදලාලිගේ පුතා දිගින් දිගටම කේන්තිය යනතුරු එම පුද්ගලයාට මෝල්ගහින් පහරදෙන අයුරු සීසීටීවී දර්ශනවල දැක්වේ.

මේ හේතුවෙන් එකී පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් තිබේ.
මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 26ක කොටගොඩ, බද්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ ම  ටිකවේලාවක් තබා තිබී පසුව රෝහලට රැගෙන යන ලදි.
මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත වන අතර අවන්හල් හිමිකරු බද්දේගම රෝහලේ ප්‍රතිකාර ලබා, වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිට රෝහලට මාරු කර තිබෙයි.
මෝල් ගසෙන් පහර දුන් වයස අවුරුදු 25 පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇත.
CCTV දර්ශන පහතින්