kurunegala-market-bribe
කුරුණෑගල මධ්‍යම වෙළෙඳපොළ ඉදිකිරීම සඳහා මහනගර සභාවේ ඉංජීනේරු ඇස්තමේන්තුවේ ඇස්තමේන්තු මුදල ඉක්මවා සියයට 41ක් එනම් රුපියල් කෝටි 28 කට වැඩි මුදලක් ඉදිරිපත් කළ ලංසුකරුට කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරිම පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව)  ොරතුරු අනාවරණය වී ඇත.  පළමුව සකස්කළ ඉංජිනේරු ඇස්තමේන්තුව නිවැරදිව සකස් වී නොමැති බවද මෙහිදී සඳහන් විය. එබැවින් ඇස්තමේන්තුව සකස් කළ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන  ලෙස කෝපා කමිටුව නිර්දේශ කළේය.  මේ අතර කුරුණෑගල බස් නැවතුම් පොළෙහි මගී ජනතාවට පහසුවෙන් රැඳී සිටීමට වෙන්කර ඇති හිස් භූමියේ ව්‍යාපාරිකයන් 31 දෙනකුට කඩ කාමර 31 ක් පෞද්ගලික වියදමින් ඉදිකර ගැනීමට අවසර දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය වී ඇත.



 කුරුණෑගල මධ්‍යම වෙළෙඳපොළේ අදියර 1 හා 2 යටතේ ඉදි කරමින් පවතින කඩ කාමර 123 ක් හා මාලිගාපිටියේ කඩකාමර 12 ක් දිර්ඝ කාලීන බදු ක්‍රමය යටතේ නිවැරැදි ක්‍රමවේදයකින් තොරව ලබාදීම පිළිබඳවද  මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්විය.  මෙම තොරතුරු අනාවරණය වූයේ රජයේ  ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගිය 10 වැනිදා රැස්වූ අවස්ථාවේදීය.  රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපතිත්වය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී  මහාචාර්ය තිස්ස විතාරණ මහතාය.  මෙම ඉදිකිරීම් ආර්ථික උත්පාදන මාර්ගයක් බවට මහ නගර සභාව අර්ථ දක්වා තිබුණද මෙමගින් ජනතාවගේ පොදු යහපතට බාධා සිදුවන බව කෝපා කමිටුවේදී තොරතුරු අනාවරණය විය.



එසේම ඉලුප්පුගෙදර මාර්ගය කොන්ත්‍රීට් කිරීම සම්බන්ධයෙන් ඇස්තමේන්තු දෙකක් සකස් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට භාජන විය.  මීට අමතරව ව්‍යාජ ආයතනයකින් පොලිසැක් මලු මිලදී ගැනීම පිළිබඳවද කෝපා කමිටුවේ අවධානය යොමු විය.  මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපති පවසා ඇත්තේ අදාළ පනත් විධි විධානවලට අනුව කටයුතු කර ඇති බවයි.  මෙම කාරක සභා රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න  ෂෙහාන් සේමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අශෝක් අබේසිංහ, ගුණපාල රත්නසේකර, කාදර් මස්තාන්, වීරසුමන වීරසිංහ, වෛද්‍ය උපුල් ගලප්පත්ති යන මහත්වරුද සහභාගි වූහ.


 - අංජුල මහික වීරරත්න-