lottery-price-change

කෝවිඩ් තත්ත්වය නිසා ලොතරැයි පත් අලෙවිය විශාල ලෙස පහළ ගොස් තිබියදී ඒ සඳහා විසදුම් සෙවීම අමතක කර දැනට රුපියල් විස්සකට අලෙවි කරන ලොතරැයි පතක මිල රුපියල් දහයකින් ඉහළ දැමීමට බලධාරීන් සැලසුම් කරමින් සිටින බව ලොතරැයි අලෙවි සහායකයෝ සදහන් කරති.
පසුගිය යහපාලන ආණ්ඩු සමයේදිත් ලොතරැයි පතක මිල රුපියල් තිහ දක්වා ඉහළ දැමීම නිසා ලොතරැයිපත් අලෙවිය විශාල ලෙස අඩු වූ බවත්, මේ නිසා එම තීරණය ආපසු හැරවීම සඳහා දින විසි එක් වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කළ බවත් එම පිරිස් පෙන්වා දෙති.එසේ තිබියදී යළිත් වතාවක් ලොතරැයි පතක මිල රුපියල් තිහ දක්වා ඉහළ දැම්මට සැලසුම් කර තිබෙන බවත්,



මේ පිළිබද බලධාරීන් මේ වනවිට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය අලෙවි නියෝජිතයන් සමග සාකච්ඡා කර තිබෙන බවත් එම පිරිස් සදහන් කරති.රුපියල් දහයකට අලෙවි වූ ලොතරැයි පත 2011 වසරේදී රුපියල් විස්ස බවට පත් කිරීමත් සමග ලොතරැයි පත් අලෙවිය අඩු වූ බවත්, මේ නිසා ප්‍රාදේශීය අලෙවි නියෝජිතයන්ට ලබාදුන් රුපියල් එකයි පනහේ කොමිස් මුදල රුපියල් හතර බවට පත් කරන බවට බලධාරින් පොරොන්දු වූ බවත් ඔවුහු පෙන්වා දෙති. එහෙත් ප්‍රාදේශීය අලෙවි නියෝජිතයන්ට තවමත් ලබා දෙන්නේ, රුපියල් තුනයි ශත හැත්ත පහක මුදලක් බවත්, මේ නිසා අලෙවි සහායකයන්ට ටිකට් පතක් අලවි කිරීමේදී හිමි වන්නේ, රුපියල් දෙකයි ශත පනහක් වැනි මුදලක් බවත් ලොතරැයි අලෙවි සහායකයෝ සඳහන් කරති.



කෝවිඩ් තත්ත්වය නිසා ලොතරැයි පත් අලෙවිය විශාල ලෙස අඩු වී තිබන බවත්, මේ නිසා දිනුම් අවස්ථා වැඩි කර මෙමට කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය කටයුතු කළ යුතු බවත්, එසේ නොමැතිව ලොතරැයි පතක මිල ඉහළ දැමීමට කටයුතු කළහොත් අලෙවිය තව තවත් අඩු වී ලොතරැයි පත් අලෙවි කිරීමට කටයුතු කරන පිරිස් මේ හරහා දැඩි අසරණ තත්ත්වයට පත් වන බවත් එම පිරිස් පෙන්වා දෙති.

(ඉන්දික හේවාවිතාරණ)