පෙම්වතුන්, පෙම්වතියන් රැවටීම අද ඊයෙ වුණු දෙයක් නෙමේ. ඈත අතීතයේ ඉඳල ම සමාජයේ සිදුවුණු දෙයක්. විවාහක අඹු-සැමියන් එකිනෙකාව රවටා අන් අය සමග රහස් සබඳතාවල බැදීමත් ඒ වගේමයි. මේකට කිසිම පෙම්වතෙක් /පෙම්වතියක්, කිසි ම බිරිදක් සැමියෙක් කොහෙත් ම කැමැති වෙයි කියලා හිතන්න අමාරුයි. ඒ වගේ ම බොහෝ දෙනෙක් තමන්ගේ සහකරු/සහකාරිය ලෙස පෙම්වතෙක්/පෙම්වතියක් ලෙස කෙනෙක්ව තෝරා ගන්නේ එයා කවදාවත් තමන්ව රවට්ටන එකක් නැහැ කියන විශ්වාසයෙන්. විනෝදයට ආදරේ සෙල්ලමක් කරගෙන පිස්සු නටන තාවකාලික ප්‍රේමවන්තයින් අතලොස්සක් ඇරෙන්න වැඩි හරියක් ආදරෙන් බැදෙන්නෙ තම සහකරු රවට්ටන්නවත්, අත් හරින්නවත් බලාගෙන නෙමේ. ඒත් අවාසනාවකට වගේ නො සිතු දේවල් සිදුවෙන මේ ලෝකෙ, තම පෙම්වතුන් පෙම්වතියන්, අඹුවන්/සැමියන් අනන්තවත් මතුවෙන බව අපිට දකින්න තියෙනවා. අද අපි කතා කරන්න යන්නෙ මෙහෙම රවටලා අහුවුණා ම ඔබ ඔබේ ඒ ඔබ රැවටූ පෙම්වතාට/පෙම්වතියට, බිරිදට/සැමියට සමාව දෙනව ද, නැද් ද, මොන වගේ පියවරක්ද ගන්නෙ කියන එක ගැනයි.
නිකමට හිතලා බලන්න ඔබේ හිතේ මුලින් ම ඇය/ඔහු ඔබව රවටන බව දැනගත් දා ඔබට ඇතිවුණු හැගීම් මොනව ද කියලා. ඇත්තට ම තම බිරිඳ/සැමියා/පෙම්වතිය/පෙම්වතා තමන්ව රවටනවා කියන එක ගිලගන්න', 'දිරවගන්න පහසු දෙයක් නෙමේ. එක් වරක් හෝ එහෙම තමා රවටලා කියලා දැනගත්ත ම සමහර විට කිරි මුට්ටියකට ගොම ටිකක් දැම්මා වගේ තමා. ආයෙ ජීවිතෙට ම ඒක යථා තත්වයට ගන්න හම්බ වෙන්නෙ නෑ.
කොළයක් නමලා නැවත දිග ඇරියාට කවදාවත් ඒ හැම මැකෙන්නෙ නෑ වගේ එක වරක් හරි ආදර සබඳතාව, විවාහ දිවියක අවංක බව එකිනෙකාගෙන් ගිලිහුණොත් ඒක මොනතරම් උත්සාහ කළත්, මොන තරම් සමාව දුන්නත්, ගත්තත් කැළලක් වෙනවා.
අවංක කෙනෙකුට තමන්ගේ සහකාරිය/සහකරු තමාව රැවැට්ටුව ම ඇතිවෙන වේදනාව බාර ගන්න බැරි තරම් දරුණු වෙන්න පුළුවන්. මේ තරම් අවංකව මං ආදරේ වෙද්දි මොන හිතකින් ද මෙහෙම ද්‍රෝහි වුණේ කියලා හිතන්න පුළුවන්. හැබැයි දෙන්නට දෙන්නා නො දන්න ගාණට එකිනෙකාව රවටලා රහස් බැදීම් ඇතිකර ගන්න අයත් ඉන්නවා. විවාහය නීරස වුණා ම එහෙම වෙනවා සමහර විට. ඒත් මං හිතන්නෙ අපේ සමාජ පසුබිමේ ඒ වගේ අවස්ථා අඩුයි. රවට්ටන්න ඉඩ ඇරලා ඉන්න අය අඩුයි. සමහරු හරි කපටියි. බිරිඳට/පෙම්වතියට/සැමියට/පෙම්වතාට බොරු දහසක් කියලා ලස්සන රගපෑමකින් බොරුවෙන් ජීවත් වන අය ඉන්නවා දවස ගාණෙ ම වුණත් එහෙම ඉතා සූක්ෂම ලෙස අහු නො වෙන්න බොරු කරන අය ඉන්නවා. තම සහකරුගේ අවංකකම, අවංක ආදරේ, විශ්වාසය සුරැකුමක් ලෙස තියාගෙන සමහරු ඔවුන්ව සියුම් ලෙස රවටනවා.
" ඒත් ඒ අය - සහකරුවොත් කවදා හරි ඔවුන්ව රවට්ටන බව දැනුණු දාට තමා තරු පෙනෙන්නේ. ඒ වුණාට ඒ අයට තමාගේ වංචාකාර ජීවිතේ පේන්නෙ නෑ. සහකරු/සහකාරියගේ රහස් ප්‍රේමය ගැන විතරයි පේනෙ. මේ නිසා මිනී මරාගන්නා තරමට ගෙදර සටන් ඇවිලුණොත් බොහෝ විට සමහරු තමන්ගෙ අවංක නැතිකම දකිනෙවත්, පිළිගනෙවත් නෑ. සහකරුගේ වංචාකාර බව ගැන විතරයි හිතෙන්නෙ, කියවෙනෙ. හිතලා බලන්න. ඔබත් ඔබේ පෙම්වතියට/පෙම්වතාට අවංක ආදරයකින් ඔබ පිදිය යුතු බව විශ්වාස කරගෙන ඒ ආදරේ විශ්වාසවන්ත බව උකසට ගෙන ඔහුට/ඇයට හොරෙන් වෙනත් පෙමකට ඇළුම් කරනවා ද කියලා. එහෙම නම් ඔබේ සහකරු ඔබට වංචා කළොත් ඔභ ඇයට/ඔහුට දොස් කීම, දඬුවම් කිරිම සාධාරණ ද?
ඇත්තට ම ඒකට පැහැදිලි කෙලින් උත්තරයක් නෑ. එකිනෙකාගෙ ඇගිලි සලකුණු වෙනස් වගේ ද්‍රෝහි වනු ලැබූ එක් එක් අය ගන්න පියවර, හිතන සිතිවිලි, ඇතිවන හැඟීම්, කල්පනා කරන ආකාරය.... යනාදී හැම දේ ම වෙනස්. ඒකට උත්තරයක් නෑ සමාව දෙනව ද, නැද්ද කියලා. . තවත් එකක්. විවාහ වෙන්න කලින් පෙම්වතුන් ලෙස ඉන්න කාලෙදි රැවටීමයි, විවාහ වුණාට පස්සෙ රැවටීමයි වෙනස්.
ඒ වගේ ම බැන්දට පස්සෙයි වංචා කිරීම ගැන ගත යුතු, ගත හැකි පියවර බොහෝ සෙයින් වෙනස් වෙන්න ඉඩ තියෙනවා හේතු කීපයක් නිසා. පෙම්වතුන්ට ඕනෑ ම වේලාවක වෙන්වීමට නීතියෙන් බාධාවක් නෑ. මානසික වශයෙන් එකිනෙකා ලබන වේදනාව හෝ කටුක අත්දැකීම වෙන ම දෙයක්. නමුත් විවාහ වුණාට පස්සෙ නීතිය හරස් වන නිසාත්, ඊට ම අදාළ වූ තවත් නීත්‍යනුකූල අයිතිවාසිකම්, යුතුකම් යනාදිය පිළිබඳව සැලකිලිමත් වීමට සිදුවන නිසාත්, විශේෂයෙන් ම දරුවන් ඉන්නවා නම් ඒක ඉතා විශාල වගකීමක් වන නිසාත් විවාහ වූ පසුව අවශ්‍යතාව තිබුණත් දෙ දෙන්නෙකුට වෙන් වෙන්න ලේසි නෑ.
මේ නිසා ම අකැමැති කෙනෙක් සමග වංචා කළ බොරුකාරයෙක් සමග විසීම ඉතා අසීරු වුණත්, මානසිකව සමාව දුන්නත්, නැතත් බාහිර වශයෙන් බොහෝ අවස්ථාවල අකැමැත්තෙන් වුණත් දෙන්නට එකට ඉන්න සිද්ධ වෙනවා. හැබැයි ඉතින් ඒක තවත් ගින්දර ජාලාවක, හිර කූඩුවක් ගත කරන කාලකන්නි අත්දැකීමක් තමා ගොඩක් වෙලාවට. හිටියත් නිතර ගහ මරාගන්න වෙනවා. වංචා කළ හැටි නිතර නිතර (සමහර විට සුද්ධ භාෂාවෙන්) කියව කියව බෙරිහන් දෙමින් සමහර විට අසල්වාසීන්ටත් මූණ දෙන්න බැරි තරමේ ජීවිතේ තිත්ත කරගන්න වෙනවා. අහිංසක දරුවන් කාලකන්නි, කටුක අත්දැකීමක් සමග ඉතා අප්‍රියජනක සමාජ රටාවකට පුරුදු වෙනවා. ඔවුන්ගේ මනස බොහෝ සෙයින් විකෘති වෙන්න ඉඩ තියෙනවා.
වංචාකාර දෙමාපියන්ගේ දරුවන් බොහෝ විට පවුල් දිවිය අප්‍රිය කරන, අවංක බව තුළ විශ්වාසය නො තබන, වැරදි වැඩවලට යොමුවන අය වෙන්න තියෙන අවස්ථා වැඩියි. පෙම්වතුන්ට නම් වෙන්වීම බොහෝවිට බලපාන්නේ මානසිකව විතරයි. ඒත් වේදනාව නම් සුළුපටු නෑ. අවංකව ආදරේ කරන තරමට වංචාව බාර ගැනීමත් අමාරුයි. කෙසේ වෙතත් තමාගෙ පෙම්වතිය/පෙම්වතා වංචා කරන බව දැනුණොත්, නියත වශයෙන් ම දැනගත්තොත් තීරණයක් ගත යුතු වෙනවනේ.
ඉතින් ඔබ මොක ද කරන්නේ? සමාව දෙනව ද? ආයෙ බාරගන්නව ද... නැද්ද? ඒකට ඇත්තට ම උත්තරේ දන්නෙ එක ම පුද්ගලයයි. ඒ ඔබ! ඔව්, ඔබ ම විතරයි. තීරණයක් ගත යුත්තේ ඔබ පමණයි. ආදරේ ප්‍රමාණය දන්නෙ ඔබ පමණයි. කළ කී දේආගිය තැන්, ලැබූ අත්දැකීම්, ඔබේ ළබැඳියාවේ බලවත්කම, ශක්තිමත්කම අඳුනනෙ ඒ නිසා ඔබමයි.
ඇය/ඔහු වංචා කළා නම් හේතුව සොයා බලලා, වංචා කළ වාර ගණන හෝ ආකාරය සොයා බලලා, සිතා බලලා තක්සේරුවක් අරගෙන සමාව දීමේ හෝ නො දීමේ තීරණය ගත යුත්තේ ඔබමයි. විවාහක හෝ අවිවාහක හෝ වේවා සහකරුවකුට වංචා කිරීමේ ආදීනව ඔබ දන්නවා. අධික මානසික වේදනා ගින්දර වගේ ම ශාරීරික විනාශ, ගහමරා ගැනීම් විතරක් නෙමේ, මිනීමැරුම් දක්වා ඒ වංචාව දුර දිග යන්න ඉඩ ඇති බව අමතක කරන්න එපා. දෙන්නෙකුට ආදරේ කරන කෙනෙක් තුන්දෙනෙකුට මිනී පෙට්ටි හදනවා කියන කතාව ඇත්තක් වෙන්න පුළුවන්. ඉතින්... සමාව දීම නො දීම ඔබේ වැඩක්. ඒ තීරණය ගන්න කලින් හොඳට අදාළ හැම කරුණක් ගැන ම හොඳ තක්සේරුවක් කරන්න. පිළිගන්න අමාරු වුණත් එක දෙයක් මතක තියාගන්න.... දැඩි මනස්තාපයකින් ඇති වූ සිත් පෑරීමක් සිදු නො වුණොතින්.... වරක් ද්‍රෝහී වූ වංචාකරුවෙක් නැවත වංචා කිරීමට බොහෝ සෙයින් ඉඩ තිබෙන බව....!
උපුටන සටහන- මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු
0 Comments