maithripala-speaks

නිවාස 03ක් එකට එකතු කර ගත් නිවසක තමා වර්තමානයේ ජීවත් වන බවට මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ බවත්, එය අසත්‍ය ප්‍රකාශයක් බවත් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.



එලෙස නිවාස 03ක් එකතු කළ නිවසක තමා ජීවත්වන බවට පක්‍ෂණයකින් සනාථ කර පෙන්වන්නේ නම්, තමා මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන බව ඊයේ (11)දා ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

මෙලෙස පිළිතුරු ලබාදෙනු ලැබුවේ, මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයාට නොවන බවත්, ඇමතිවරයාගේ ප්‍රකාශය ජනගතවීම හේතුවෙන් මෙම අදහස් පළ කළ බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.

‘මම ජනාධිපති ධුරයෙන් ඉවත් වුණාට පස්සේ නිල කාලය අවසන් වෙලා ගෙවල් 3ක් එකට එකතු කරලා මම ගෙයක් හදලා මම ඒ ගේ පදිංචි වෙලා ඉන්නවා කියලා. සමහර මාධ්‍යවලත් මේ විදියට කතා ගියා. මම බොහොම පැහැදිලිව කියනවා මම ඉන්න නිල නිවාසය මම ලබා ගත්තේ අද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාගෙන්. මේ සභාවේ ජේ.ආර්. ජනාධිපතිවරයා සම්මත කළ 1984 ජනාධිපති හිමිකම් පනත යටතේ සඳහන් වෙනවා ජනාධිපතිවරයෙක් විශ්‍රාම ගිය විට ඇමතිවරයෙකුට තිබෙන සියලු අයිතිවාසිකම් සහ වරප්‍රසාද දිය යුතුයි කියලා.




 

මම ඉන්න මේ නිවස ගෙවල් දෙකක් එකට කරලා මෙතන පදිංචියට ඇවිත් තිබෙන්නේ ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා. මේක වරද්දගෙන තමයි මේ විශාල ප්‍රචාරයක් ගෙනියන්නේ.

මහින්දානන්ද මහත්මයාට නෙවෙයි මම උත්තර දෙන්නේ. එතුමාගේ කතාව ජනතාව අහගෙන හිටියාම මේක ජනගත වෙනවා. ඒ නිසා මම ඉතාමත් කනගාටු වෙනවා ඒ වගේ අසත්‍ය ප්‍රකාශයක් කිරීම පිළිබඳ.එහෙම ගෙවල් තුනක් එකතු කරලා මම ගෙදරක ඉන්නවා නම් ඕනම වෙලාවක මේ මන්ත්‍රී ධුරයෙන් ඉවත් වෙන්න ලෑස්තියි ඒක ඔප්පු කෙරුවොත් පරීක්‍ෂණයක් කරලා”


යනුවෙන්ද සඳහන් කළේය.


(දිනේෂ් සමරකෝන්)