mickey-arther-uk

එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමක් වන ඩර්බිෂයර් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් පුහුණුකරු මිකී ආතර් මහතාව එක්කර ගැනීමට වැඩි කැමැත්තෙන් සිටින බව වාර්තා වේ.  විශේෂයෙන් ආතර් මහතා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ඇති කරගත් දෙවසරක ගිවිසුමට එළඹෙන දෙසැම්බර් මාසයෙන් පසු අවසන් වීමට නියමිතව ඇත. එංගලන්ත පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාකරන ඩර්බිෂයර්, මිඩ්ලන්ඩ්ස් ප්‍රාන්තය මූලික කර ගනිමින් ක්‍රියාත්මක වන ප්‍රධාන ක්‍රිකට් කණ්ඩායමයි. එම කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු ලෙස සිම්බාබ්වේ ජාතික ඩේව් හූටන් මහතා කටයුතු කරන අතර, ඔහු මෙම වසර අවසානයේදී සිය ධුරයට සමුදීමට නියමිතව ඇත. ඒ අනුව ඔහුගේ අනුප්‍රාප්තිකයා වීමේ පළමු තේරීම වී ඇත්තේ 53 හැවිරිදි මිකී ආතර් මහතාය. වසර 16කට අධික කාලයක සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පුහුණුකරුවෙකු ලෙස වගකීම් රැසක් දරා ඇති ආතර් මහතා,


ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක් වූයේ 2019 වසරේදීය.දකුණු අප්‍රිකාවේ උපත ලැබූවෙකු වන ආතර් මහතා, දකුණු අප්‍රිකාවේ මෙන්ම ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානයේද ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර ඇත. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්වීමට පෙර පාකිස්තානයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, පාකිස්තානය 2019 ශුරයන්ගේ කුසලානය දිනාගැනීමට සමත් වූයේද ආතර් මහතා යටතේය. එමෙන්ම පාකිස්තානය ටෙස්ට් සහ විස්සයි20 ශ්‍රේණිගත කිහි අංක එකට රැගෙන ඒමටද මිකී ආතර්ට හැකි විය. 

මෙම තරුණ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර විස්සයි20 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට නොහැකි වුවද, ශ්‍රී ලංකාව මේ දක්වා පැමිණි සාර්ථකත්වයට ප්‍රධාන දායකත්වය දුන් නියමුවා ඔහු බවට අද බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්ව සියි. පුහුණුකරුවෙකු වූ මිකී ආතර් මහතාට තවදුරටත් ජාතික කණ්ඩායමක පුහුණුකරු ලෙස කටයුතු කිරීමේ වැඩි කැමැත්තක් නොමැති බව වාර්තා වන අතර, ඔහුගේ ඉදිරි කැමැත්ත වී ඇත්තේ ප්‍රාන්ත පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීම බව වාර්තා වේ.

(විශ්ව මුදියන්සේ)