අංගොඩ ලොක්කාගේ සමීපතමයකු මෙන්ම මාර්ග කොන්ත්‍රාත්කරුවකු වූ මිලින්ද (42) නමැත්තා ඉකුත් 26 වැනිදා අංගොඩ දෙල්ගහවත්ත ප්‍රදේශයේ නිවෙසක දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු සැකපිට කඩුවෙල ප්‍රදේශයේ දී පෙරේදා (1) අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය කියයි.  

මෙම ඝාතනය සිදුකර පළාගිය සැකකරුවගේ ගිනි අවිය බාර ගෙන ඇත්තේ මෙම සැකකරුවන් දෙදෙනා බවට තොරතුරු හෙළි වූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.  ඔවුන් ඉකුත් 26 වැනිදා පෙරවරුවේ කඩුවෙල  මහමෙව්නාව අසල දී යතුරු පැදියෙන් පැමිණ  මෙම ගිනි අවිය බාරගෙන ඇති බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.


අවුරුදු 20 සහ 21 යන යන වයස්වල පසුවන ඔවුන් කඩුවෙල සහ වැලිවිට යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලිස් ආරංචි මාර්ග කියයි. ඔවුන් සම්බන්ධයෙන් අනාවරණය වූ කරුණු සහ සී සී ටී වී දර්ශන අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඔවුන් බාරගත් බව කියන පිස්තෝලය මෙතෙක් සොයාගෙන නොමැත. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට බාර දී ඇත.


 ඉන්දිකා රාමනායක