mukalane-sudda-meegoda-pitipana

අයිස් මත්ද්‍රව්‍ය හෙරොයින් සහ පාතාල ක්‍රියාකාරකම් නිසා පිටිපන තලගල කජුගහයටදෙණිය මීගොඩ යන ප්‍රදේශවල ජනතාව භීතියට මෙන්ම ඉතාමත් අපහසුතාවට පත් වී සිටින බව වාර්තා වේ.
මහින්ද රාජපක්ෂ විද්‍යාලය ඇතුළු සිසුන් දහස් ගණනක් අධ්‍යාපනය ලබන උසස් අධ්‍යාපන ආයතනයද මෙම කලාපයේ පිහිටා ඇති හෙයින් ඔවුන්ගේ ජීවිත අනතුරේ ඇති බව එහි අධ්‍යාපනය ලබන සිසුන්ගේ දෙමවුපියන් ​චෝදනා කර තිබේ.

බස් බඩා, සුද්දා, දන් කැලේ ගයාන්,  ඇලගාව පොඩි, ඉෂාර නමැති පුද්ගලයන් පිරිසක් විසින් මෙම මත්ද්‍රව්‍ය බෙදාහැරීම් සිදුකළද ආරක්ෂක අංශ නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවත් බුද්ධි අංශ යයි කියාගන්නා පොලිසියේ පිරිස් ඔවුන් සමග සාද පවත්වා සතුටු සාමීචියේ යෙදෙන බවත් නම ප්‍රකාශ කිරීමට නොහැකි ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකුම පවසන ලදී.



සවස හය පසුවන විට ගම්වැසියන් සියල්ලෝම නිවෙස්වලට වී දොරගුළු ලා ගන්නේ කොරෝනා භීතියට වඩා මෙම ප්‍රදේශවල මත්ලෝලීන් සහ පාතාල ක්‍රියාකාරකම්වලට ඇති බිය නිසාවෙනි. දැනට විදෙස් රටක සැඟව සිටින අතුරුගිරියේ ලඩියා නමැත්තා ගේ අණසක මෙම ප්‍රදේශය පුරා පතුරුවා හැරීමට වෙනම පාතාල කණ්ඩායමක් ද සෑදි පැහැදී සිටිති.

මූකලානේ සුද්දා, මෝල් කසුන්, ගොඩගම මන්න මලින්ද, ලූෂන් කජුගහයටදෙණිය, දනා පුවක්වත්ත ඇතුළු බොහෝ පිරිසක් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සහ එයට විරුද්ධ වන ඕනෑම අයකු කපා කොටා බරපතළ තුවාල කිරීමට ඔවුන් කටයුතු කරයි. ආසන්නම සිදුවීම වාර්තා වූයේ පසුගිය මස 24 වැනි දින මොවුන්ගේ යතුරුපැදි අධික වේගයෙන් ධාවනය කිරීමට විරෝධය දැක්වූ ව්‍යාපාරිකයකුට සහ ඔහුගේ දරුවන් දෙදෙනාට තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදුකිරීමය.

ප්‍රදේශවාසීන් පවසා සිටින්නේ පොලිසියට මේ සම්බන්ධව කොපමණ දැනුම් දුන්නත් පලක් නොමැති බවත් තොරතුරු ලබාදෙන පුද්ගලයන්ගේ සියලු විස්තර ජාවාරම්කරුවන්ට ලබාදීමට පොලිසියේ සුළු නිලධාරීන් කටයුතු කරන බවය. රථවාහන පොලිසියේ කිහිපදෙනකු මත්ද්‍රව්‍ය ගැනීමටද මෙම ජාවාරමුන් සොයා එන බව ගම්මු නගන චෝදනාවය. හෝමාගම මහාධිකරණයේ කාර්ය මණ්ඩල සාමාජිකයකු ඇතුළු තරුණයන් දෙදෙනකු කඩුවලින් කැපූවද අපරාධකරුවන් බහුතරය තවමත් නිදැල්ලේය.

හේමන්ත ලියනපතිරණ