mulleriyawa-incident

මුල්ලේරියාව මීගහවත්ත ප්‍රදේශයේ ඉකුත් පස්වැනිදා වෙඩි තබා අංගොඩ ලොක්කාගේ ගෝලයකු ඝාතනය කර තවත් පුද්ගලයකුට තුවාල කිරීමේ සිද්ධියේ සැකකරුවන්ට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් හෝමාගම රෝහලේ හෙද නිලධාරියකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මුල්ලේරියාව පොලිසියේ විශේෂ කණ්ඩායමක් මොවුන් බණ්ඩාරගම හා  මොරොන්තුඩුව ප්‍රදේශවල දී අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කියයි.  මෙම වෙඩි තැබීමේ සිද්ධියේ දී පොර බැදීමේ දී වෙඩි තැබූ පුද්ගලයාට ද තුවාල සිදුවී ඇති බවත් ඔහුගේ තුවාලවලට ප්‍රතිකාර කිරීම සහ සැකකරුවන්ට මෝටර් රථයකින් පලා යෑමට උපකාර කිරීම සම්බන්ධයෙන් මොවුන් තිදෙනාට අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.




බණ්ඩාරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් හෙද නිලධාරියා වෙඩික්කරුගේ තුවාලවලට නීති විරෝධී ලෙස ප්‍රතිකාර කර ඇති බව ද පොලිස් ආරංචි මාර්ග කියයි.  සිද්ධිය වූ දින මෙම වෙඩික්කරු හා  සෙසු සැකකරුට පිළියන්දල සිට බණ්ඩාරගමට මෝටර් රථයකින් පලා යෑමට උදව් කිරීම සම්බන්ධයෙන් අනෙක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන  හෙද නිලධාරියාගෙන් ප්‍රතිකාර ලබාගෙන ඔවුන් බණ්ඩාරගමින් පලා ගොස් ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු හෙළි වී නැත.


අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 29, 30 සහ 33 යන වයස්වල පසුවන්නන් බවත්, මොවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පැය 72 ක රැඳවුම් නියෝග මත රඳවාගෙන  ප්‍රශ්න කරමින් පසුවෙන බවත් පොලිසිය පවසයි. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් දෙදෙනකු කඩුවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්  වෙඩික්කරුවන් ඝාතනයට යොදාගත් ගිනිඅවිය ගෙන වෙනත් පාර්ශ්වයක් වෙත බාර දුන් පුද්ගලයන් බව ද පොලිසිය කියයි.

 -ඉන්දිකා රාමනායක-