mundalama-incident

බිරියක් සිටියදී වෙනත් ගැණු හොයන් යැම, සැමියකු සිටියදී වෙනත් කාන්තාවන් සමඟ අඹුසැම් සබඳතා පැවැත්වීම අද රටේ, ලෝකේ නිරන්තරයෙන් අහන්න දකින්න ලැබෙන දෙයකි.  නමුත් එවැනි කටයුතු පිට පොට ගැසුනු දිනයක ඊට වන්දිගෙවන්න සිදුවන්නේ ඔවුන් නිසා මෙලොවට ආ දරුවන්ටය. 



ඒ වන්දිය ජීවිතයක් වුණොත් කෙතරම් ඛේදජනකද? මෙය ද එවැනි සිද්ධියකි.මේ පෙම් පැටලැවිල්ල සාමාන්‍ය අනියම් සම්බන්ධයකට එහා ගිය එකකි. ඒ වයස් පරතරයයි. විමලාවතී නම් වූ මෙම කාන්තාවගේ වයස අවුරුදු 74කි. ඇයගේ අනියම් සැමියාගේ වයස අවුරුදු 48කි.එනම් දෙදෙනාගේ පරතරය අවුරුදු 26කි.සාමාන්‍යයෙන් ගතහොත් ඒ වයසේ පසුවන කාන්තාවකට මේ වයසේ පුතකු සිටිය හැකිය.  වියපත්ව වූවත් අම්මා මේ  කරගෙනයන වැඩ පිළිවෙලට ඇයගේ 28 හැවිරිදි පුතා සිටියේ දැඩි අකමැත්තකිනි.



මුන්දලම පොලිස් වසමේ  කරිකට්ටිය ගමේ උපන් ඇය හැත්තෑහතරවැනි වියේ පසු වුවත් බොහෝ හයි හත්තිය ඇති ගැහැණියක වූවාය.  විමලාවතී කසාද තුනක් කරගත් අයෙකි. පළමු කසාදයේ ගැහැණු දරුවො දෙදෙනකු සහ පිරිමි දරුවන් තුන්දෙනකි. ඔවුන් සියල්ලෝම විවාහවී වෙන වෙනමම ජීවත්වෙති. සෙසු කසාද දෙකේම ඇයට දරුවන් නොමැති අතර අවසන් වරට විවාහ වී සිටි පුරුෂයා මියයන්නේ මීට වසරකට පමණ පෙරය,   විමලාවතීගේ නිවෙස පිහිටියේ හලාවත පුත්තලම ප්‍රධාන මාර්ගය ආසන්නයේය. අමතර ආදායම් මාර්ගයක් ලෙස සිය නිවෙසේ ඇය බෝඩිමක් ආරම්භ කරන්නේ මීට වසර කීපයකට පෙරය.

  කාමර පහකින් යුත් නිවසේ කාමර හතරකම බෝඩිකාරයෝය. ඒ ගැහැණු දෙදෙනකු සහ පිරිමි දෙදෙනකු වශයෙනී, ඇය  නිවෙසේ ඉදිරිපස කාමරයේ වෙසෙන්නීය. ඉදිරිපස කාමරය,සෙසු කමර වලින් වෙන්ව පවතී.  මෙසේ කාලය ගතවෙද්දී ඇයගේ නිවසට ආගන්තුකයකු පැමිණෙන්නේ නවාතැන් ගැනීම සඳහා කාමරයක් ලබා ගැනීමටය. ඔහු නමින් මැක්සිමන්ය, ස්ථිර රැකියාවක් නොකරන ඔහුගේ වයස අවුරුදු 48කි. කාමර සියල්ලන්ගේම පිරීතිබූ නිසා ඉදිරිපස ඇයගේ කාමරය ඔහුට වෙන්කර දෙන්නේ ඇය නිවෙසේ වෙනත් තැනක නිදා ගැනීමට කටයුතු කරමින්ය.

කාලය ගතවිය. දෙදෙනා අතර සමීප සම්බන්ධතාවක් ඇතීවී එය දුරදිග ගොස් ආදරයක් බවට වර්ධනය වන්නේ ඔවුන්ටත් හොරාය. පසුව ඉදිරිපස කාමරයේ දෙදෙනාම එක්ව රාත්‍රිය ගත කරන්නට වූයේ නවාතැන් ගෙන සිටින අනෙක් අයට හොරාය. ඔවුන් එය හොර රහසේ සිදුකළද කාමරවල සිටින අයට ඔවුන්ගේ වැඩ පිළිවෙල ගැන දැනගැනීමට වැඩිකලක් ගතවුයේ නැත.  විමලාවතීගේ බාල දරුවා එස්.එම්.චාමර රුවන්ය. වයස අවුරුදු විසි අටක් වූ ඔහු විවාහයෙන් පසු පන්නල පිහිටි ඔහුගේ   බීරියගේ නිවෙසේ පදිංචියට  ගියේය,

ඔවුන්ගේ කැදැල්ලේ වයස අවුරුදු දෙකක පුතකු සිටී.  විවාහවී නිවෙසින් පිට වූවත් චාමර සිතේ මව කෙරෙහි තිබූ ආදරයේ නම් අඩුවක් වූයේ නැත. ඒ නිසා නිරන්තරයෙන් මව ගැන සොයාබැලීමට ඔහු කටයුතු කළේය. මේ අතර මවගේ සම්බන්ධය ගැනද ඔහුට ඉව  වැටිතිබුණි.  ඉකුත් 18 වැනි දින මව බැලීමට චාමර, බිරිද සහ දරුවාද කැටුව මවගේ නිවෙසට පැමිණෙන්නේ දහවල් 11ට පමණය. ඔවුන්  දිවා ආහාරයද ගෙන මව සමග සතුටු සාමීචියේ යෙදී සවස් වරුවේ ගමේ පන්සලට යාමට සූදානම් විය.




පන්සලට යැමට පෙර නිවෙසේ කාමරයක නවාතැන්ගෙන සිටින චාමරගේ සම වයසේ සමීර යන අය යෝජනාවක් ගෙන එන්නේ එදින රාත්‍රියේ බියර් පානය කරමු කියාය. චාමරද ඊට කැමැත්ත පළ කළේය. පන්සල් ගොස් නිවෙසට පැමිණෙන විට සමීර බියර් බෝතල් දෙකක් ගෙනැවිත් සියල්ල සුදානම් කර තිබිණී, සමීරගේ කාමරයේ දෙදෙනා කතාබහ  කරමින් සිටියහ. වීදුරු දෙකක් තොලගා අහවරවී චාමර කාමරයෙ පිටතට ආවේ දහඩිය දමනවා යැයි කියාගෙනය. පසුව ඔහු හොර රහසේ ගොස් මවගේ කාමරයේ සුළං කවුළුවකින් එබිකම් කර බැලුවේ කනින්   කොනින් ඇසුන කතාවේ ඇත්ත නැත්ත දැනගැනීම සඳහාය.දුටු දෙයින් චාමරට ඇස් දෙක අදහාගත නොහැකිවිය, ඔහුගේ සැකය තහවුරු විය.

මව අනියම් සැමියාට බත් කවමින් සිටියාය. දැඩි ලෙස කෝප වු චාමර එකවරම මවගේ කාමරයේ දොරට පයින් ගසා විවෘතකර කාමරය ඇතුළට ගොස් මවට හා අනියම් සැමියාට  බැන වැදුනේය. තිදෙනාගේ බහින්බස් වීම ඇසී අසල කාමරයේ සිටි සමීර දිව ආවේය. ඒ සමගම ඇඳමත වාඩිවී සිටි අනියම් සැමියා එකවරම කොට්ටය යට තිබු පිහියක් ගෙන චාමරගේ පපුවට වැරෙන් පහරක් එල්ල කළේය.


එම පිහිපහර ඔහුගේ පපුව පසාරු කරගෙන ගියේය.  ලේ වැගිරෙමින් සිටි ඔහු පිහිය උදුරාගැනීමට තැත් කරද්දී දෙදෙනාම බිම ඇද වැටී පොර  බඳින්නට වූහ.එහිද අනියම් සැමියා නැගිටීමට තැත් කරද්දි අසල සිටි සමීර ඔහුට පාපහර ඵල්ල කළේය. ඒ සමගම ඔහු එම ස්ථානයෙන් දිව ගියේය. පිහිපහරට ලක්වූ චාමර කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කළද ඒ වනවිටත් ඔහුගේ අවසන් හුස්ම වා තලයට මුසුවී හමාරය.   මේ සිද්ධිය සැලවීමෙන් අනතුරුව වහා එම ස්ථානයට පැමිණි මුන්දලම පොලිසියේ කණ්ඩායමක් සැකකරු සොයා සෝදිසි මෙහෙයුමක් දියත් කළේය. ඊට ප්‍රදේශවාසී තරුණයන්ගේ සහායද හිමිවිය.




මුන්දලම,ආමුකුලිය ප්‍රදේශයේ කඳුකැලෑවක සැගව සිටියදී ඔහු අත්අඩංගුවට ගන්නේ දැඩි ප්‍රයත්නයක් දැරීමෙන් අනතුරුවය.  ඔහු මීට පෙර පුද්ගල ඝාතන හතරක් සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණ වලින්ද අනාවරණය විය. මැදිරිගිරිය ප්‍රදේශයේ එක් ඝාතනයක්,දිවුලපිටිය  ප්‍රදේශයේ එක් ඝාතනයක් සහ පුත්තලම ප්‍රදේශයේ ඝාතන දෙකක් වශයෙන් මෙම ඝාතන 04 සිදුකර තිබිණි.


මෙම ඝාතන අතරින් මැදිරිගිරිය සහ දිවුලපිටිය ඝාතනවල නියමිත සාක්ෂි නොමැති බැවින් නිදොස්  කොට නිදහස්වී ඇති අතර පුත්තලමේ සිදුකළ ඝාතන දෙකෙන් එක් ඝාතනයකට වසර දහයක් හා අනෙක් ඝාතනයට වසර  හයක් වශයෙන් වසර දහසයක්  සිරදඬුවම් නියම කර ඇත. පසුගිය කාලයේ හිටපු ජනාධිපතිවරයා විසින් නියම කළ පොදු සමාව යටතේ වසර දාසයක් ව තිබූ දඬුවම් වසර අටහමාරකට සීමාවී නිදහස් වි ඇති බව සඳහන්ය.  මනුෂ්‍ය ඝාතන 04 සිදුකළ පුද්ගලයකු එලෙස පොදු සමාව යටතේ නිදහස් කිරීම හරිද වැරදිද යන්න මේ සිද්ධියෙන් සනාථ වන්නේය.


මිහිර විජේසේකර