muruththettuwe-ananda-chancellor

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පදවිය සඳහා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත් කිරීමට ජනපති තීරණය කිරීම සම්බන්දයෙන් විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය ලිපියක් යොමු කර ඇති අතර එහිදී පත්කීරීමට විරෝධය පළ කර ඇත.


එහි දැක්වෙන්නේ ගෞරවනීය තනතුරට දේශපාලන හිමිනමක් පත්කිරීම තමන් පිළිනොගන්නා බවයි.


එම ලිපිය මෙසේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපති පදවිය සඳහා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත් කිරීම සම්බන්ඳව ජනාධිපතිතුමා වෙත යොමුකරන ලද ලිපිය.

“ඕනෑම විශ්වවිද්‍යාලයක ඉතාමත් ගෞරවනීය ම සහ උත්තරීතර ම පදවිය ලෙස හඳුන්වනු ලබන්නේ විශ්වවිද්‍යාලයේ කුලපති තනතුරයි.

කුලපති තනතුර සඳහා ව්‍යවස්ථාපිත පරිපාලන බලතල කිසිවක් නොමැති වුවද විශ්වවිද්‍යාලයේ ගෞරවයේ සංකේතය වන්නේ කුලපති තනතුරයි.විශේෂයෙන්ම උපාධි ප්‍රධානෝත්සවයේදී උපාධිය පිරිනැමීම ඇතුළු ගෞරවනීය අවස්ථාවන්හිදී කුලපති හරහා විශ්වවිද්‍යාලය නියෝජනය වන්නේ එම නිසාය.

කෙසේ නමුත් කොළඹ විශ්වවිද්‍යාලයේ මීළඟ කුලපති තනතුරු සඳහා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් රජය විසින් පත්කොට ඇත.

නමුත් කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ ශිෂ්‍ය ප්‍රජාව ලෙස එම පත් කිරීම සඳහා අප එකහෙළා අපගේ විරුද්ධත්වය ප්‍රකාශ කර සිටින්නෙමු.




මන්ද විශ්වවිද්‍යාලයක කුලපති තනතුරු යනු කිසිදු විටක දේශපාලන පත් කිරීමක් හෝ දේශපාලන න්‍යාය පත්‍රය අනුව සිදු නොවිය යුතු බව අප විශ්වාස කරන බැවිනි.

තවද විශ්වවිද්‍යාලයේ පරිපාලනයේ ස්වාධීනත්වයක් ගෞරවයත් ආරක්ෂා වන්නේ එම තත්ත්වය තුළ ය. නමුත් විශ්වවිද්‍යාලයේ කුලපති තනතුරට දේශපාලනික පත්කිරීමක් සිදුකිරිම තුළ විශ්වවිද්‍යාලයේ පරිපාලනයේ ස්වාධීනත්වයත්,විශ්වවිද්‍යාලයේ ගෞරවයක් යන දෙකම විනාශ වී යා හැකි බවට අප විශ්වාස කරන්නෙමු.

එබැවින් විශ්වවිද්‍යාල ඉතිහාසය තුළ කීර්තිමත් ඉතිහාසයක් සහ වර්තමානයේ ද කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන කොළඹ විශ්වවිද්‍යාලයට මෙම දේශපාලන පත් කිරීම සිදුකිරිම සම්බන්ධයෙන් මහා ශිෂ්‍ය සංගමය ලෙසත් සමස්ත සිසු ප්‍රජාව වෙනුවෙනුත් අපගේ දැඩි විරෝධය ප්‍රකාශ කර සිටින්නෙමු”.

මහා ශිෂ්‍ය සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය