muruththettuwe-ananda-colombo-university

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයට පත්කර තිබේ. අදාල පත්වීමේ ලිපිය මේ වන විට උන්වහන්සේ වෙත ලැබී තිබේ.
වර්තමාන ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා විශේෂ කැපකිරීමක් කරන ලද උන්වහන්සේ මෑතක සිට ආණ්ඩුවට දැඩි විවේචනයන් එල්ල කරමින් සිටි්‍යහ. කෙසේ වෙතත් ආනන්ද හිමියන්ට මෙම තනතුර ලැබීමෙන් පසු තනතුරට අදාළව කටයුතු කළ යුතු වන අතර රජය විවේචනය කිරීමට හැකියාවක් තවදුරටත් නොලැබෙනු ඇත.වෘත්තිය සමිති වලින්ද ඉවත්වීමට සිදුවනු ඇත.


ආනන්ද හිමියන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති ධුරයද දරමින් සිටි අතර නිරන්තරයෙන්ම මාධ්‍ය ඉදිරියට පැමිණ කතාබහ කළ කෙනෙකි.
    කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය යනු අති ගෞරවනීය පදවියකි. වර්තමානයේ අතිගරු ඔස්වල්ඩ් ගෝමස් පියතුමා මෙම පදවිය දරමින් සිටින අතර උන් වහන්සේ 2002 සිට එම පදවිය දරයි.

ඊට පෙර  වෛද්‍ය පී.ආර්. අන්තෝනිස් (1981–2002) , හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන (1978–1981) විලියම් ගොපල්ලව (1972–78), ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක (1954–62), හර්වල්ඩ් රම්ස්බෝතම් (සෝල්බරි සාමි) (1949–54), ශ්‍රීමත් හෙන්රි මොන්ක්-මේසන් මුවර් (1944–49)  හා ශ්‍රීමත් ඇන්ඩෘ කැල්ඩෙකොට් (1942–44) මෙම තනතුරු දරා තිබේ.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයට පත්කිරීම ජනපති සෘජුව මැදිහත්වී දේශපාලනිකව සිදු කර ඇති අතර නොවැම්බර් 17 දාතමින් එම පත්වීම කර ඇතැයි ලිපියකින් දන්වා ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධව කොළඹ සරසවි ලේඛකාධිකාරවරයා තවම දැනුවත් කර නැති අතර පත්වීම තහවුරු කරගැනීමට ලේඛකාධිකාරවරයාගෙන් මාධ්‍ය කළ විමසීමකදී තමන්ට ඒ ගැන තවම දන්වා නැතැයි අද දහවල් පවසා තිබුණි.මේ දක්වා ධූරය දරමින් සිටින අතිගරු ඔස්වල්ඩ් ගෝමස් පියතුමන්ගේ තනතුර ඉබේම අහෝසිවනවාද නැද්ද යන්න දන්වා නැත.

ආනන්ද හිමියන්ට කුලපති දූරය වෙනුවෙන් වෙනම වැටුපක් හා නිල නිවාස හා වාහනද හිමිවනු ඇත.