phone-usage-advice

අද මව්පියන්ට වඩා දරුවන් ජංගම දුරකථනයට සම්බන්ධයි. ජංගම දුරකථනයක් දරුවකුට අවශ්‍ය වන්නේ හදිසි පණිවුඩයක් නිවෙසට ලබා දීමට, එහෙමත් නැත්නම් මව්පියන්ට තම දුවට පුතාට හදිසි පණිවුඩයක් ලබා දීමට යි.යම් සමාජ දැනුමක් ඇති අඩුම වශයෙන් උසස් පෙළ මට්ටම්වත් සිටින සිසුන්ට හැර සෙසු කුඩා දරුවන්ට ජංගම දුරකථන ලබා නොදිය යුතු බවත් අප කතා කළා.  දැන් මව්පියන්ට ප්‍රශ්නයක් පැන නඟිනවා කුඩා දරුවකුට පණිවුඩයක් ලබා දෙන්නේ කෙසේ ද? දරුවාට හදිසි වුවමනාවක් වුවහොත් ඔහු ඒ පණිවුඩය අම්මාට තාත්තාට ලබා දෙන්නේ කොහොම ද?

අද බොහෝ දරුවන් පාසල් වෑන් රථවලින් පාසල් යන්නේ. වෑන් රථයේ රියැදුරු මහතා ළග නැත්නම් දරුවන් බලා ගන්නා තැනැත්තිය ළග දුරකථනයක් තිබෙනවා. එමගින් පණිවුඩයක් ලබා දීමට පුළුවන්. එසේ ම, අද ලංකාවේ දුෂ්කරම ප්‍රදේශයක වුවත් කාසි දමා කතා කරන්න පුළුවන් දුරකථන තිබෙනවා. ඒ වගේ ම, දුරකථන ඇමතුම් ලබා ගත හැකි ඇමතුම් මධ්‍යස්ථාන (කොමියුනිකේෂන්) තිබෙනවා. කුඩා දරුවෙකුට මව්පියන් සමග සම්බන්ධ වෙන්න ඒ සන්නිවේදනය හොඳට ම ප්‍රමාණවත්. මව්පියන් දරුවන්ට වැඩි පහසුව සලසන්න යෑම අද විශාල විපතක් වෙලා. පාසල් යන දරුවන් තම යහළුවන්ට විහිළු කරන්න ඇතැම් විට කාසි දමා කථා කළ හැකි දුරකථන උපයෝගී කර ගන්නවා.



එය මව්පියන්ට පණිවුඩයක් ලබා දීමට යොදා ගැනීම අපහසු වන්නේ කොහොම ද?  විදෙස් ගත වෙලා ඉන්න අම්මා, තාත්තා තමන්ගේ දුව පුතා විභාගෙ හොඳින් සමත් වුණාම එවන්නේ ජංගම දුරකථනයක්. වැරැද්ද කරන මව්පියන් ම යි..නිවසේ පරිගණකයක් නොමැතිව අන්තර්ජාලයට යෑමට නොහැකි තත්වයක් මීට දශකයකට පමණ කලින් තිබුණෙ. පස්සෙ ලැප්ටොප් පරිගණක ආවා. දැන් අතේ තිබෙන ජංගම දුරකථනයෙන් අන්තර්ජාලයට යන්න පුළුවන්. මව්පියන් මේ සම්බන්ධව මීට වඩා දැනුවත් විය යුත්තේ අන්න ඒ නිසායි.ජංගම දුරකථන හරහා තාරුණ්‍යයේ සිදුවන විනාශය තවම හරිහැටි සමාජයෙන් එළියට පෙනෙන්න පටන් ගෙන නැහැ. ආදරය, ප්‍රේමය තරුණ දූ දරුවන්ගෙන් වෙන් කරන්න බැහැ. කොහොම වුවත් මව්පියන් දරුවන් දැනුවත් කළ යුත්තේ කුමන හේතුවක් මතවත් තමන්ගේ ඡායාරූප ජංගම දුරකථන මගින් ලබා ගැනීමට කිසිවකුටවත් ඉඩ නොදිය යුතු බවයි. මේ ඡායාරූපවලට තමන්ගේ ජීවිතයම විනාශ කර දැමිය හැකි බව පුතුන් දන්නේ නැහැ.

මව්පියන් වගේම තරුණ වයසේ වූ දරුවන් පවා මේ අවබෝධය ලබා ගත යුතුයි. විශේෂයෙන් ම කිසිදු අවස්ථාවක වීඩියෝ ගත කිරීමට කිසිවකුට ඉඩ ලබා නොදීමට තරුණ දූ පුතුන් දැනුවත් කිරීමට මව්පියන් කටයුතු කළ යුතුයි.එදා සහ අද උපකාරක පන්ති පිහිටා ඇති ප්‍රදේශ දෙස අවධානය යොමු කර බලන්න. පෑනක්, පැන්සලක්, අඩිකෝදුවක් ගන්න, ඡායාපිටපත් කර ගන්න, රෝනියෝ මුද්‍රණය කර ගන්න එදා උපකාරක පන්ති අසල ඕනැ තරම් පහසුකම් තිබුණා.අද උපකාරක පන්ති වැඩි වශයෙන් ඇති නුගේගොඩ, ගම්පහ, කිරිබත්ගොඩ, මහනුවර, කුරුණෑගල නගර දෙස හොඳින් බලන්න. උපකාරක පන්ති අසල කුලියට නවාතැන් දෙන ස්ථාන වැහි වැහැලා. 'කාමර කුලියට දෙනු ලැබේ' කියන නාම පුවරු ඕනෑ තරම්. ත්‍රී රෝද රථ ගාල් ඒ අසලම තවත් පැත්තකින්. ඇඳුම් අලෙවි කරන වෙළෙඳ සැල්, ජංගම දුරකථන පහසුකම් සපයන වෙළෙඳ සැල් තවත් පැත්තකින්. කෙටි ආහාර, අයිස්ක්‍රීම් අලෙවි සැල් තවත් තැනක.

මේ ආයතනවල සේවා ලබාගන්න කවුද යන්නෙ? රටේ අනාගතය බාර ගන්න ඉන්න තරුණ දූ දරුවො. සිතා බලන්න. මේ ආකාරයට දිගට ම කටයුතු සිදු වුණොත් රටේ අනාගතයට මොකද වෙන්නෙ? මව්පියන් මේ ගැන විශේෂ අවධානය යොමු කරන්න ඕන.'ජංගම දුරකථනයක් අපේ දරුවා නම් තාම ඉල්ලුවෙ නෑ' කියල ඇතැම් මව්පියන් කියනවා. හොඳට හොයල බලන්න ඕන මේ දරු දැරියන් ගැනත්. අද දරු දැරියන් ළඟ දුරකථනයක් නොවෙයි සිම් කාඩ් පත් තිබෙන්නේ.

යහළුවෙකුගෙ දුරකථනය ඉල්ලා ගෙන සිම් කාඩ් පත යොදල කතා කරනවා.ඇතැම් විට මවගේ හෝ පියාගේ දුරකථනය ම අරගෙන තම සිම් කාඩ්පත යොදල පණිවුඩ ලබා දෙනවා. දූ දරුවන්ගේ පොත් කවර අන්සේ, ඔවුන්ගේ පාසල් බෑග් ආදිය ඇතුළත හොඳින් පරික්ෂා කර බැලීමට මව්පියන් වග බලා ගත යුතුයි. මව්පියන් මේ හැමදේ ම කරන්නේ දරුවන්ට අයහපතක් කරන්න නොවෙයි.

ඔවුන්ට නොතේරුම් කාලේ, සමාජ දැනුම අඩු කාලේ වැඩිහිටියන්ගේ ආරක්ෂාව, සොයා බැලීම නිසි පරිදි නොලැබුණොත් විනාශ වන්නේ ඔවුන්ගේ අනාගතයඑසේ ම, මව්පියන් අනුකරණය කිරීමටත් දරුවන් නිරතුරුව ම උත්සාහ ගන්නා බව අප හොඳින් මතක තබා ගත යුතුයි. අප දුරකථන ඇමතුමක් ලබාගෙන කොපමණ වෙලා ගත කරනවා ද? පණිවුඩය පසෙක තබා කෑව ද? බිව්ව ද? මෙකී නොකී දහසක් ආගිය කථාවලින් පස්සෙ තමයි අවශ්‍ය කාරණයට යන්නෙ. කාලය නාස්ති කරනවාට අමතරව මේ දුරකථන බිල්පත් ගෙවිය යුත්තේත් තමන්ම බව අමතක වෙලා නේද? අප දරුවන්ට ආදර්ශමත් වන්නේ කෙසේ ද?දුරකථනයෙන් කථා කළ යුත් වචනයේ සංවරකමත්, කාලයේ වටිනාකම ගැන හැගීමක් ඇතිවයි. අප තුළ විනය හා හික්මීමේ අඩු පාඩු තිබේ නම් දරුවන් තුළ ශික්ෂණයක් ඇති කරන්නේ කොහොම ද?

මේ ගැනත් කල්පනා කළ යුතුයි.දරුවන්ට කිරි වීදුරුවක් බොන්න බිස්කට් එකක් කන්න තිබෙන මුදලට විදින සංස්කෘතියක් බිහි වෙලා. රුපියල් විස්සටත් රික්ලෝඩ්, ටෙලිෆෝන් කාඩ් තිබෙනවා. ඒ විතරක් නොවෙයි, ණයටත් කථා කරන්න පහසුකම් තිබෙනවා. මුළු රට ම ණයකාරයො කරලා.ඇතැම් එෆ්.එම් නාලිකා ප්‍රශ්නවලට පිළිතුරු දෙන ජයග්‍රාහකයන්ට තෑගි හැටියට දෙන රීලෝඩ්. එහෙමත් නැත්නම් වෙළෙඳ සැලක පළමු ගනුදෙනුකාරයන්ට දෙන රීලෝඩ්. මුළු සමාජය ම නොපෙනෙන භයානක තත්වයකට පත්වෙලා. තමන්ගේ දරුවන් ගැන නිරතුරුව ම විමසිලිමත් වුණොත් මව්පියන්ට දූ දරුවන් හදා ගන්න එක අමාරු වැඩක් නොවෙයි. එහෙම වුණොත් සන්නිවේදනයෙන් නියම ප්‍රතිඵල අපට ලබාගන්න පුළුවන්. ගුණධර්ම හඳුනන පරපුරක් සහිත නියම සෞභාග්‍යමත් රටක් බිහි වන්නේ එවිටයි.

-පූජ්‍ය දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි