president-speaks

ජනාධිපතිවරයාගේ ස්කොට්ලන්ත සංචාරයෙන් අනතුරුව වීරකැටියේ පැවති රැස්වීමකදී ආන්දෝලනාත්මක කතාවක් සිදු කළේය.
දේශපාලන ආරංචි වාර්තා කරන්නේ මෙම කතාව ජනපතිගේ උවමනාවට හදිසියේ කළ එකක් බවත් කල් ඇතිව සූදානම් කළ සටහන් එපා කියා ඔහු කළ එකක් බවත්ය.


හිටිහැටියේම ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් නාමල්ට පණිවුඩයක් ලැබී ඇති අතර ඉන් කියැවුණේ එකී උත්සවයේදී ජනාධිපතිවරයාට කතාවක් කිරීමට අවශ්‍ය බවකි.
 කතා වෙන් කර ඇත්තේ අගමැතිවරයාට පමණක් බව නාමල් දන්වා ඇතත් එහි ගැටලුවක් නොමැති බවට කළ දැනුම් දීමත් සමග සම්ප්‍රදායට අනුව නාමල් අගමැතිවරයාගේ කතාවට පසුව ජනාධිපතිවරයාගේ කතාව යොදා උත්සවයේ න්‍යාය පත්‍රය නැවත සකස් කර ඇත.



සාමාන්‍යයෙන් මෙවැනි ඉහළ පෙළේ රාජ්‍ය උත්සවයකදී ජනාධිපතිවරයා කලින් සකස් කරගත් කතාවක් ටෙලිප්‍රොම්ප්ටරයක් භාවිතයෙන් සිදුකිරීම  සම්ප්‍රදාය නිසා ජනාධිපති මාධ්‍ය අංශයද ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ කතාවක් සකස් කරන්නද කියාය. නමුත් ජනාධිපතිවරයා එහිදී මාධ්‍ය අංශයට දැනුම් දී ඇත්තේ තමන් මෙවර කරන්නේ සැලසුම් කළ කතාවක් නොව, ස්වභාවික කතාවක් බවකි.
 ඒ අනුව ජනාධිපතිවරයා උත්සව සභාව ඇමතීමට පියවර ගත්තේ කිසිදු කොලයක් අතේ නොමැතිව ස්වභාවිකවමය. ඇත්තෙන්ම එම කතාව මහත් ආන්දෝලනාත්මක වූයේ ජනාධිපතිවරයා තමා හා අනෙකුත් හිටපු ජනාධිපතිවරුන් අතර ඇති වෙනස ප්‍රසිද්ධියේම සඳහන් කළ නිසාය.


“69 ලක්ෂයක් මට ඡන්දෙ දුන්නේ මගේ මූණට නෙමෙයි. මගේ ප්‍රතිපත්තිවලට. වස විසෙන් තොර ආහාර වේලක් ජනතාවට දෙන්න අපි පොරොන්දු වුණා. වෙනස කරන එක අමාරුයි. ගොවියාට බලෙන් මේ කාබනික පොහොරවලට යන්න කියන්නේ නෑ. නමුත් මම කළේ හරි දේ.”

“සමහරු කියනවා අපි බලාපොරොත්තු වුණේ මිලිටරි ක්‍රමයේ ගෝඨාභය කෙනෙක් කියලා. මට පුළුවන්. හැබැයි ඒ කියන්නේ.., මට පුළුවන් බෙල්ලෙන් අල්ලලා කාබනික පොහොර පාවිච්චි කරපන් කියලා කියන්න. හැබැයි මට එහෙම කරන්න අවශ්‍යතාවයක් නෑ. ”

“අපිට තෙල් නෑ. ගල් අගුරු නෑ. ගෑස් නෑ. නමුත් අපිට තියෙනවා හිරු එළිය, වතුර, සුළඟ, මේ තුනෙන්ම අපිට විදුලිය ජනනය කරන්න පුළුවන්. ඒක කරන්න ගියාමත් විශාල විරෝධයක්. මේවා අමාරු දේවල්.”

“යහපාලනය යටතේ ජනාධිපති අගමැති යනකොට විශාල කාර් ප්‍රමාණයක් යනවා. මම ඒවා නැති කළා. අමෙරිකාවෙදි මගෙත් එක්ක වාහන 15ක් ආවා.මම එක්සත් ජාතීන්ගේ සමුළුවට ගිහින් හිටියේ සාමාන්‍ය හෝටලයක. මගේ භාර්යාව මගෙත් එක්ක ගියා. මම එයාගේ ටිකට් එකට සල්ලි ගෙව්වා.”

“මගේ ඥාතීන්වත් එක්කං ගියානම් ඒ අයත් සන්තෝෂයි. බැහැයි ඒ අයව එක්කං නොගියාම, අයියෝ අපේ මාමා ජනාධිපති වැඩක් නෑ. අපිට යන්නවත් නෑ. නමුත් ඒකයි වෙනස.”

“මටත් රජ ගෙදරක් තියෙනවා. ඒක බොහොම විශාලයි. ඒකෙ ඉන්න අමාරුයි. වැඩක් නෑ. අපරාදෙ නිකං විදුලිය පිච්චෙනවා. මම ඉන්නේ හිටපු ගෙදරමයි. ඒකයි වෙනස.”

“මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ට මම කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය දුන්නා. විජේදාස රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, මහින්ද ජයසිංහ, ස්ටාලින් ද කවුද කියන කෙනාත් ගියා උපදෙස් ගන්න. ඔය ඔක්කොම උපදෙස් ගන්න ගියේ උන්වහන්සේ ගාවට. හැබැයි උන්වහන්සේව කුලපති කළාම… සුදුසු නෑ. ඔක්කොම වැල පිටින් ගිහින් උපදෙස් ගත්තේ එතන.”




ඔහු කළ මේ කතාව පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් අතරද ප්‍රධානම මාතෘකාව බවට පත්ව තිබිණි. ඒ අනුව පාර්ලිමේන්තු ලොබියේදී දෙපැත්තේම මැති ඇමැතිවරුන් මුණගැසුණු අවස්ථාවේ මේ පිළිබඳ ඔවුන් අතර කිසියම්  සංවාදයක් ඇතිවූ ආකාරයක්ද වාර්තාවේ.
 විපක්ෂයේ මන්ත්‍රීවරුන් එහි ඇති ඍණාත්මක පැත්ත ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට පෙන්වා දී ඇති අතර මැති ඇමැතිවරුන් විසින් රටට පෙන්වා දිය යුතුව තිබූ කතාවක් ජනාධිපතිවරයාට කිරීමට සිදුව ඇතැයි කියා ඇත.