rambukkana-tradegy-land-slide

රඹුක්කන දොඹේමඩ ප්‍රදේශයේ අවදානම් කලාපයක පිහිටි නිවසක් මතට කන්දක් කඩාවැටීම නිසා ඊයේ අවාසනාවන්ත ලෙස ජීවිත තුනක් අහිමිවිය. මවක දියණියක හා ඥාති දියණියක මෙම සිදුවීමෙන් මරණයට පත් විය.
රක්ෂිතයක් තුළ පිහිටි බව කියන මෙම නිවස අනවසරයෙන් ඉදි කළ එකක් වන අතර එම ස්ථානයට යාබදව තවත් නිවසක්ද පිහිටා තිබුණි.
කන්දක් පාමුල අනාරක්ෂිත ලෙස මෙම නිවාස ඉදිකර තිබූ අතර කාලගුණ තත්වය අයහපත් සෑම අවස්ථාවකම එම කන්ද කඩා වැටීමේ අවදානමක් පැවතිණි. නමුත් මෙම පදිංචිකරුවන් නිවෙස අතැර වෙන ස්ථානයකට යාමට උනන්දුවී නැත.


කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසුරිය මහතා සඳහන් කළේ තමා ඇතුළු පිරිස රඹුක්කන ජීවිත අහිමිවූ පිරිස වෙත අනතුරු ඇඟවීම එය සිදුවන්නට පෙර නිකුත් කළ බවයි.
දින කිහිපයක්ම අධික වැසි ඇතිවී ප්‍රදේශයට නායයාම් අවදානම මතුවූ පසු පෙරේදා ප්‍රාදේශිය ලේකම්වරයා හා ග්‍රාම නිලධාරී මහතා එම නිවෙස් වෙත ගොස් නිවාස දෙකේම අය හමුවී වහාම ඉවත්වන ලෙස දන්වා ඇත. එම කීමට ඇහුම්කන්දී එක් නිවසක අය ඉවත් වුවත් අනෙක් නිවසේ අය ඉවත්වී නැත. මෙම අනතුර සිදුවූයේ එසේ ඉවත් නොවූ අය සිටි නිවසටය.

පස් කන්දකඩාවැටී 36 හැවිරිදි මව, ඇගේ 8 හැවිරිදි දියණිය සහ 13 හැවිරිදි තවත් ඥාති දියණියක මරණයට පත්වූ අතර බරපතළ තත්ත්වයේ පසු වු 40 හැවිරිදි පියා කෑගල්ල රෝහලේ තවම ප්‍රතිකාර ලබයි.
අද (10) පැවති මාධ්‍ය හමුවක දී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කළේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති  අවදානම්  සහිත ප්‍රදේශවලින් ඉවත් නොවන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවය.
එවැනි පුද්ගලයන්ව එම ස්ථානවලින් ඉවත් කිරීම සඳහ පොලිසියට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලය පැවරෙන බවද ඔහු කීය.