rosy-senanayake-cheese

චීස් කෑල්ලකට තමාගේ චරිතය ඝාතනය කිරීමට ඉඩදිය නොහැකි බවත්, තමා පිළිබඳ අසත්‍ය පුවත් පළ කළ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවලට එරෙහිව නඩු දමන බව කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක ඊයේ එම සභාවේදී පැවැසුවාය.



නගරාධිපතිනිය රුපියල් ලක්ෂ ගණනක් චීස් පරිභොජනය කර ඇති බවට පසුගියදා ඇතැම් පුවත්පත්වල පළවූ වාර්තා සම්බන්ධව එහිදී උණුසුම් වාද විවාද ඇතිවූ අතර ඇය මෙසේ කීවාය.

‘‘පසුගියදා ඇතැම් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවල මාගේ චරිතය ඝාතනය වන අයුරින් ප්‍රවෘත්ති පළවුණා. මාගේ නිල නිවසේ චීස් ඇති බවත් සඳහන් වුණා. මට නගර සභාවෙන් චීස් කන්න ඕනෑ නැහැ. මම හොඳට චීස් කාලා තියෙනවා. මම මේ සභාවෙන් සතපහක් හොරකම් කරලා නැහැ. එම පුවත් පළකරපු මාධ්‍යවලට එරෙහිව මම නඩු දානවා
සංග්‍රහ දීමනා වශයෙන් මට වසරකට රුපියල් මිලියන 25ක් වෙන්කරල තියෙනවා. රාජ්‍ය නායකයන්, මැති ඇමැතිවරුන්, තානාපතිවරුන් මාව මුණගැහෙන්න එන්නේ මගේ නිල නිවසටයි. ඉතින් ඒ අයට සංග්‍රහ කිරීමේ ඇති වැරද්ද මොකක්ද?..
ඉදිරියේදී මම බස්නාහිර මහ ඇමැති තරගයට ඉදිරිපත් වෙයි කියලා තියෙන බයට ඇතැම් දේශපාලනඥයන් විසින් මෙම මඩ ගැසීම් සිදුකරන බව පේනවා’’




මේ අවස්ථාවේදී ඒ.එච්.එම්. නව්ෆර් (එජාප) සහ මහින්ද කහඳගම (පොජපෙ) යන මන්ත්‍රීවරුන් දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුවිය. ඔවුන් දෙදෙනාටම සභාවෙන් ඉවත්ව යන ලෙස නගාරාධිපතිවරිය නියෝග කළද ඔවුන් ඉවත් නොවීම හේතුවෙන් විනාඩි 5කට සභාව කල් තැබීය.