rubella-facts

රුබෙල්ලා හෙවත් ජර්මන් සරම්ප රෝගය පිළිබඳ මේ දිනවල දැඩි කතා බහට ලක්ව තිබේ. එක් අවස්ථාවක රුබෙල්ලා හෙවත් ජර්මන් සරම්ප රෝගය වළක්වා ගැනීම සඳහා ලබාදෙන රුබෙල්ලා එන්නත ලබාදීමෙන් පසුව මාතරදී එක් දැරියක් ජීවිතක්‍ෂයට පත් විය. 

තවත් දැරියන් රාශියක් අසාධ්‍ය තත්වයට පත් වී රෝහල් ගත කෙරිණි. මෙම සිදුවීම රට පුරා මහත් ආ න්දෝලනයකට භාජන විය. සියලුම මාධ්‍යයන් මෙම අවාසනාවන්ත සිදුවීමට විශාල ප්‍රසිද්ධියක් ලබාදී තිබේ. මේ නිසාම රුබෙල්ලා හෙවත් ජර්මන් සර රෝගය පිළිබඳ නිවැරදි තොරතුරු දැනගැනීම කාලීන අවශ්‍යතාවක් බවට පත් වී ඇත.  රුබෙල්ලා හෙවත් ජර්මන් සරම්ප රෝගය මුලින්ම හඳුනාගෙන ඇත්තේ ජර්මානු වෛද්‍යවරුන් විසින් 18 වන සියවසේ මැද භාගයේදීය. ලෝකයේ සෑම රටකම පාහේ රුබෙල්ලා රෝගය දක්නට ලැබිණි.

ජර්මානු වෛද්‍යවරුන් විසින් මෙම රෝගය මුලින්ම  හඳුනාගත් නිසා මෙම රෝගය ජර්මන් සරම්ප යනුවෙන් හඳුනවනු ලැබීය. ඉංග්‍රීසි ශල්‍ය වෛද්‍යවරයකු විසින් 1866 දී ශ්‍රී ලංකාවට ආසන්නතම රට වන ඉන්දියාවේ රුබෙල්ලා වසංගතය පළමුවෙන්ම වාර්තා කර ඇත. මෙම රෝගය පිළිබඳව මුලින්ම වාර්තා වී ඇත්තේ 1740 වසරේදීය. ඊට පසුව ඕස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය වැනි දියුණු රටවලද රුබෙල්ලා රෝගය වසංගතයක් ලෙස පැතිරුණු බවට වාර්තා වී ඇත. රුබෙල්ලා රෝගය වැළදෙන්නේ රුබෙල්ලා වෙරසය නිසාවෙනි. එම නිසා එම රෝගය වෛරස් රෝගයක්  ලෙස සැලකේ. රෝගය පැතිරෙන්නේ ශ්වසන පද්ධතිය හරහාය. එනම් අප ආශ්වාස ප්‍රශ්වාස කරන වාතය හරහා රුබෙල්ලා  වෛරසය රෝගියකුගෙන් නිරෝගී පුද්ගලයකුට පැතිරිය හැකිය. රුබෙල්ලා රෝගය බොහෝ විට ඉතා සරල, හඳුනා නොගත් රෝගයක් ලෙස වැළදී සම්පූර්ණ යෙන් සුවපත් වීමට ද හැකිය. බොහෝ වෛරස් රෝග මෙන් ඉතා සුළු අවධානයකට ලක් නොවන රෝග ලක්‍ෂණ සහිතව මෙම රෝගය වැළඳී දින කිහිපයකින් රෝග ලක්‍ෂණ තුරන් වී ගොස් රෝගියා සුවපත් වීමට ද හැකිය.


රුබෙල්ලා රෝගයේ ලක්‍ෂණ

 01. දින 1 සිට දින 3 දක්වා පැවැතිය හැකිය.
02. වැඩිහිටියන්ට වඩා දරුවන්ට ඉතා ඉක්මණින් මෙම රෝගය වැළඳිය හැකිය.

 රුබෙල්ලා රෝගයේදී දක්නට ලැබෙන අතුරු ආබාධ ඉතාමත් විරල ය. රුබෙල්ලා රෝගයේදී මඳ උණ, ඇඟ පුරා ඇති විය හැකි ඉතා පොඩි පලු, ඉදිමුණු කුද්දටි (බෙල්ල දෙපස), හන්දිපත් වේදනාව, හිසේ රදය සහ ඇස්ගාය ප්‍රධාන රෝග ලක්‍ෂණ ලෙස හඳුන්වා දිය හැකිය. ඇගේ ඇති වන පුංචි පලු මුහුණෙන් පටන්ගෙන අත් පා සහ සිරුරේ කඳ ප්‍රදේශය දක්වා විහිදිය හැකිය. සාමාන්‍යයෙන්  මෙලෙස ඇති වන පලු දින 3ක් පමණ තිබී සම්පුර්ණයෙන්ම පාහේ කිසිම සලකුණක් හෝ කැළලක් නොමැතිව පහ වී යයි. අධික උණක් දක්නට නොලැබෙන අතර මඳ උණ ද ක්‍රමයෙන් අඩු වී යයි. රුබෙල්ලා රෝගය ඕනෑම වයස් සීමාවක ඕනෑම කෙනකුට වැළඳිය හැකි වුවත් ළදරුවන් සහ වයස අවුරුදු 40න් වැඩි අයට රෝගය වැළඳීම විරලය. වයස වැඩිවීමත් සමග රෝග ලක්‍ෂණවල තීව්‍රතාවද වැඩිය.




කාන්තාවන්ට රුබෙල්ලා රෝගය වැළඳුණු විට බොහෝ දෙනකුට හන්දිපත් වේදනාව ඇති වෙයි. රුබෙල්ලා රෝගය වාතය මගින් පැතිරෙන රෝගයක් වන අතර ශ්වසන පද්ධතිය හරහා රුබෙල්ලා වෛරසය ශරීර ගතවීමෙන් පසුව රෝග ලක්‍ෂණ මතු වීමට සති 2ක් 3ක් අතර කාලයක් ගත විය හැකිය. මෙම කාලය තුළදී රුබෙල්ලා වෙරසයට ශ්වසන පද්ධතිය හරහා ශරීරගත වූ තැනැත්තකුට තවත් නිරෝගී පුද්ගලයකු වෙත රෝගය පැතිරවිය හැකිය. අනෙකුත් බොහෝ වෛරස් රෝග මෙන්ම මේ රෝගය ද වැළඳී ඉතා සරල රෝග ලක්‍ෂණ ඇති වී දින කිහිපයකින් රෝග  ලක්ෂණ පහවී රේගායා සුවපත් බවට පත් වේ. රුබෙල්ලා වෛරස් රෝගයේදී දක්නට ලැබෙන මඳ උණ, ඇගේ පුංචි පලු දැමීම, හන්දිපත් වේදනාව, හිසේ රදය, ඇස් ගාය තවත් බොහෝ වෛරස් රෝගවලදී දක්නට ලැබෙන නිසා රුබෙල්ලා වෛරස් රෝගය පිළිබඳ දැනුමක් නොමැතිකම නිසා හෝ අවධානය යොමු නොකිරීම නිසා හෝ රෝගියා රුබෙල්ලා රෝගයෙන් පෙළෙන බව නිශ්චය කරගැනීම අපහසු විය හැකිය.

රුබෙල්ලා වෛරස් රෝගයේදී දක්නට ලැබෙන ඉතා පුංචි පලු සහ රුධිරයේ දක්නට ලැබෙන රුබෙල්ලා වෛරසය සඳහා වූ සුවිශේෂිත ප්‍රතිදේහ මගින් රුබෙල්ලා වෛරස් රෝගය නිශ්චිත වශයෙන් හඳුනාගත හැකිය. සමහර අවස්ථාවලදී රුබෙල්ලා වෙරස් රෝගයේදී කිසිම රෝග ලක්‍ෂණයක් දක්නට නොලැබෙයි. ගැබ්ගත් කාන්තාවකට විශේෂයෙන්ම පළමු සති 20 තුළ රුබෙල්ලා වෛරස් රෝගය වැළඳුණහොත් කුස තුළ සිටින දරුවාට උප්පත්තියෙන්ම බරපතළ රෝග තත්වයන් ඇති විය හැකිය. උප්පත්තියෙන් ඇති විය හැකි හදවත් ආබාධ ඉතා දරුණු ඒවා විය හැකිය. ගැබ්ගත් මුල් කාලේ රුබෙල්ලා රෝගය වැලඳුණු ගැබිණි  මවුවරුන්ගේ දරුගැබ ස්වභාවික ගබ්සාවීමකට වුවද මය හැකිය.

රුබෙල්ලා වෛරස් රෝගය නිසා මෙලෙස කුස තුළ සිටින දරුවාට ඇති විය හැකි ඉතාම අවාසනාවන්ත මෙන්ම බරපතළ රෝග තත්වයන් නිසා විශේෂයෙන්ම දරුවකු පිළිසිඳ ගත හැකි වයස් සීමාවල සිටින කාන්තාවන් රුබෙල්ලා රෝගය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා සිටීම අතිශයින්ම වැදගත් වෙයි. විවාහ අපේක්‍ෂිත කාන්තාවන් විශේෂයෙන්ම රුබෙල්ලා රෝගය පිළිබඳ දැනුවත්ව සිටිය යුතුය.

මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය සහ කියුබාව වැනි රටවලින් රුබෙල්ලා හෙවත් ජර්මන් සරම්ප රෝගය සහමුලින්ම තුරන් කිරීමට එම රටවල සෞඛ්‍ය බලධාරීන්ට හැකි වී තිබේ. රුබෙල්ලා රෝගය වළක්වා ගැනීම සඳහා ඇති එකම සහ හොඳම මාර්ගය රුබෙල්ලා එන්නත ලබාදීමයි. රුබෙල්ලා රෝගය මර්දනය කිරීම සඳහා මෙම රුබෙල්ලා එන්නත අතිශයින්ම සාර්ථක වී ඇති බව වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි සහිතව ඔප්පු වී තිබේ. හැම ගැහැනු දරුවකුම යෞවනියක බවට පත් වී කවදා හෝ  ගැබිණියක බවට පත්විය හැකිය. මේ නිසාම කෙදිනක හෝ ගැබිණියක විය හැකි සෑම ගැහැනු දරුවකුටම අනිවාර්යයෙන්ම රුබෙල්ලා එන්නත ලබාදීමෙන් කවර දිනක හෝ ගැබ්බර වන එම දැරියගෙන් බිහි විය හැකි දරුවාට රුබෙල්ලා රෝගය නිසා ඇති විය හැකි බරපතළ විකෘතිමය තත්වයන් (උපතින්ම) වළක්වාගත හැකිය.

වෛද්‍ය ජයලත් ජයවර්ධන