නොවැම්බර් 30 වැනිදා ශ්‍රී ලංකාවේ කොරෝනා  බූස්ටර් එන්නත එනම් තුන්වන මාත්‍රාව ලබාදීම ආරම්භ කර තිබෙන පසුබිමක ඒ සම්බන්ධ විශේෂ කරුණු කිහිපයක් වසංගත විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කර තිබේ. ඔහු මෙසේ කියයි.


‘ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයින්ට තුන්වැනි මාත්‍රාවක් ඉක්මනින් ලබා දීම අවශ්‍ය බවට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර තිබුණා. ඒ නිර්දේශයන් සලකා බලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විශේෂ චක්‍රලේඛයක් මගින් ඒ අවසරය ලබා දුන්නා. ඒ විතරක් නොවෙයි. ඇතැම් රටවල්වලට ඇතුළු විය හැක්කේ තුන්වැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ගත් අයට පමණයි කියලා මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව එවැනි රටවල් වෙත යන පුද්ගලයින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් යොමුකරන අවස්ථාවන්වලදී ඔවුන්ට තුන්වැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීමට කටයුතු කරන්න කියලා. 



තුන්වැන්නට දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇත්තේ ෆයිසර් එන්නත පමණයි. සමහර විට ඉදිරියේදී මෙම තීරණයන් වෙනස් වෙන්න පුළුවන්.

ඉදිරි පෙළ හමුදා නිලධාරීන්ට, වයස අවුරුදු 60 ඉක්මවවූවන්ට හා විවිධ සංකූලත්වන් පවති පුද්ගලයින්ට තුන්වැනි එන්නත් මාත්‍රාව ක්‍රමානුකූලව ලබා දීමට කටයූතු කරනවා.
තවම සංකූලතාවන් පවතින දරුවන්ට තුන්වැනි මාත්‍රාවක් ලබා දීම පිළිබඳව ලෝකයේ කිසිම රටක් තීරණය කර නැහැ.

එන්නත්වල කිසිදු හිඟයක් ඇතිවෙන්නේ නැහැ. මොකද පාසල් ළමුන් සඳහා අවශ්‍ය එන්නත් මාත්‍රා මිලියන 1.4ක තොගයක් අප සතුව පවතිනවා. තවත් මිලියන 1ක ප්‍රමාණයක් නොබෝ දිනකින් ලැබීමට නියමිතයි. ඖෂධ නීතිගත සංස්ථාව මේ වන විට ගිවිසුම්ගත වෙලා තියෙනවා නොවැම්බර් හා දෙසැම්බර් මාසවල එන්නත් මෙරටට ලබා ගැනීම සඳහා. ඒ නිසා එන්නත් ලබා ගැනීම සදහා කිසිදු බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ.
දැනට පූර්ණ එන්නත්කරණයට මිලියන 29ක් ලක්කර තිබෙනවා. මින් පළමු මාත්‍රාව මිලියන 15 සහ දෙවැනි මාත්‍රාව මිලියන 13.4 ක් ලබා ගෙන තිබෙනවා. සුළු කොටසක් ඉන්නවා පළමු මාත්‍රාව පමණක් ලබා ගෙන දෙවැනි මාත්‍රාව ලබා නොගත් අය. ඒ එය දෙවන මාත්‍රාව අනිවාර්යයෙන්ම ගත යුතුයි. 

පළමු එන්නත ලබා ගෙන මාස කීපයක් ගත වුවත් ගැටලුවක් නැහැ. මොකද පළමු එන්නත් මාත්‍රාවෙන් ලැබුණ මතක සෛල ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුළ පවතිනවා.

ඒ හේතුවෙන් දෙවැනි මාත්‍රාව කොයි කාලයක ලබා ගත්තත් එය ප්‍රයෝජනවත් වෙනවා. මේ වන විට ලංකාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් දෙවැනි මාත්‍රාව ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
නුවර ජනතාවට අපි මොඩර්නා එන්නත ලබා දුන්නා. එම එන්නත අපිට පරිත්‍යාගයක් ලෙස ලැබුණු දෙයක්. නමුත් මෙහි පළමු මාත්‍රාව ලබා ගත් අයගෙන් සුළු ප්‍රමාණයක් දෙවැනි මාත්‍රාව ලබාගන්න ඉදිරිපත් වී නැහැ. තවත් මාස දෙකකින් පමණ මේ එන්නත් තොගය කල් ඉකුත් වෙනවා. එහෙම වුණොත් අපිට මොඩර්නා එන්නත් තොග මෙරටට ගෙන ඒමේ ගැටලුවක් මතුව තිබෙනවා. ‘

 (සාකච්ඡාව - ශ්‍රියානි විජේසිංහ)