sapugaskanda-bag-body
කසල ගොඩකට විසිකර තිබූ අඩි දෙකහමාරේ, දෙකහමාරේ ප්‍රමාණයේ ගමන් බෑගයක තිබී ඊයේ සපුගස්කන්ද ප්‍රදේශයේ දී හමුවූ කාන්තා මළ සිරුර සම්බන්ධ සිදුකරන පරීක්ෂණ වලදී මේ වනවිට ඒ පිළිබඳ සැකසහිත කාරණා කිහිපයක් ගැන තොරතුරු සොයාගැනීමට පොලිසියට හැකිව තිබේ.

මෙම සිරුර අයත්වන්නේ කාටද යන්න තවම නිශ්චිත වශයෙන් හඳුනාගෙන නැති නමුත් සැකකළ හැකි අයගේ තොරතුරු ලැබී තිබේ. ඉන් තුනක් ඇඟළුම් සේවිකාවන් අතුරුදන්වීම් සම්බන්ධ ඒවා වන අතර අනෙක නිවසක සේවය කළ මෙහෙකාරියකගේ අතුරුදන්වීමකි.
සපුගස්කන්ද යාබද බියගම ප්‍රදේශයේ පවත්වායන ඇඟලුම් කර්මාන්ත ශාලාවන්හි සේවය කළ තරුණියන් සොයාගත නොහැකි බවට පොලිසියට ලැබී ඇති එක් පැමිණිල්ලක් ගැන ඊයේ සිට විමර්ශන ඇරඹූ අතර ඇඹිලිපිටිය ප්‍රදේශයේ වාසය කරන ඇයගේ පවුලේ අයට මෘත ශරීරය දැක බලාගැනීමට සැලැස්වීමට අද දින කටයුතු කරනු ඇති බව දැනගන්නට ලැබේ.


ඔවුන් පවසා තිබුනේ මීට සතියක පමණ කාලයක සිය අතුරුදන් කාන්තාවගෙන් නිවසට තොරතුරක් ලැැබී නැති බවයි. ඇය අවසන්වරට දුරකථන ඇමතුමක් ලබාදී ඇත්තේද සපුගස්කන්ද ප්‍රදේශයේ සිට වන අතර ඇගේ ජංගම දුරකථන අංක වාර්තා ඔස්සේ වැඩිදුර කරුණු සොයා බැලීමට පොලිසිය කටයුතු කරමින් සිටින අවස්ථාවේ මෙම මෘත ශරීරය හමුවිය.
අනෙක් ඇඟළුම් සේවිකාවන් තිදෙනා ගැනද විමර්ශනය අරඹා ඇති අතර ඒ අයගේ ඥාතීන් සමග සම්බන්ධවී වැඩිදුර විමර්ශන අරඹා තිබේ. නිවසක සිටියදී අතුරුදන්වූ මෙහෙකාරිය පිළිබඳ තොරතුරු සොයා බැලීමේදී එකී තැනැත්තිය සේවය කළ නිවසේ අය සැකයට භාජනයවී තිබෙන අතර මේ ආකාරයට හමුවූයේ එම නිවසේදී සිදු කළ ඝාතනයකින් පසුවද යන්න ගැන තොරතුරු විමසමින් පවතී.
කසළ ගොඩ අසලින් දුගඳක් හමන බවට පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත කළ සොයා බැලීමේ දී මෙම මළ සිරුර ඊයේ හමු වී තිබුනේ ජන ශූන්‍ය පැත්තක පිහිටි කසල ගොඩකිනි. හඳුනාගත් සිරුර කළු සහ රතු පාට කොට ගවුමක් හැඳ සිටි අතර සිරුරේ යට ඇඳුම් තිබුනේ නැති බවද පරීක්ෂණ වාර්තාවේ සටහන් විය.
සිරුර පිලිබඳ කාල නිර්ණයේදී එය දින 3 ක් හෝ 4 ක් පරණ එකක් විය හැකි බවට නිගමනය විය.

ඒ අනුව දුගඳ හමනතුරුම කිසිවෙකුගේ ඇස නොගැටී එය පවතින්නට ඇත්තේ මෙම කසල ගොඩ පාළු පෙදෙසක පිහිටි නිසා බවට අනුමාන කර තිබේ.
ආසන්න නිවෙස්වල සීසීටීවී කැමරා පරීක්ෂා කරන්නට පොලිසිය ඊයේ සිට කටයුතු ඇරඹිණි. තවම ලැබුණ හෝඩුවාවන් ප්‍රසිද්ධ කර නැත.
සිරුර බෑග් එකේ බහා එය රෙදිකඩකින්ද ඔතා තිබූ අතර සැකය ඇතිවීමෙන් පසු දුගඳ හැමීම මුලින්ම පරීක්ෂා කළ අය එකී බෑගය කෙළවරකින් විවෘත කර බලද්දී එකී රෙදි කඩද ඉවත්කර බලන්නට සිදුව තිබුණි.
මියගිය කාන්තාව වයස අවුරුදු 35-40 අතර බවට අනුමාන කර තිබුණි.
මෘත ශරීරය මේ වනවිට රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර අද දින එය හඳුනාගන්නට අතුරුදන් අයගේ ඥාතීන් පැමිණීමෙන් පසු තවත් තොරතුරු ලැබෙනු ඇතැයි පොලිසිය විශ්වාස කරයි.

 සිදුවීමට අදාළ පෙර විස්තර