සපුගස්කන්ද මාබිම ප්‍රදේශයෙහි කසළ ගොඩක් තුළ තිබී හමුවූ කාන්තා මළ සිරුර සම්බන්ධ සිදු කළ විමර්ශන අනුව දින 2 ක් වැනි කෙටි කාලයක් තුළ ඝාතනය සිදු කළ අය කොටු කරගැනීමට පොලිසිය සමත්ව තිබේ.
මෙලෙස මරාදමා තිබී හමුවූයේ මොහොමඩ් සාෆී ෆාතිමා මුම්තාස් නැමැති 44 හැවිරිදි දෙදරු  මවකි. ඇය මාළිගාවත්ත මහල් නිවාසයෙහි ජීවත්වූ අතර  සහල් ව්‍යාපාරික ඇගේ සැමියාගේ මුදල් වෙනත් අයට පොලියට දෙමින් අමතර රැකියාවක් කරමින් සිටියාය.
පසුගිය ඔක්තෝබර් 28 වැනිදා සවස 3 ට පමණ මියගිය කාන්තාව ‘රොසෑනා‘ නමැති වෙනත්  කාන්තාවක හා ඇගේ සහෝදරයා බවට හඳුන්වාදුන් පුද්ගලයෙකු සමග ත්‍රීරෝද රථයකින් පිටව ගොස් තිබුනේ රත්තරන් බඩු උකස් කරන ස්ථානයකට ගොස් පොලී ගෙවන පුද්ගලයෙකුගේ මුදල් ප්‍රමාණයක් යළි ලබාගෙන එන බවට දන්වමිනි.
නමුත් එදින රාත්‍රී වනතුරුත් ඇය නොපැමිණි නිසා ඇය සමග ගිය රොසෑනා අමතා මියගිය කාන්තාවගේ සැමියා විස්තර විමසද්දී ඇය පවසා ඇත්තේ ෆාතිමා තමන් සමග ආ නමුත් ත්‍රීරෝද රථයෙන් බැසගිය පසු ඇය ගැන නොදන්නා බවයි. ෆාතිමා ත්‍රීරෝද රථයෙන් බැසගියේ බ්ලූමැන්ඩල් - ඕර්ස් ලේන් ප්‍රදේශයේදී බවට ඇය සඳහන් කරන ලදි.


මේ අවස්ථාවේ සැමියා සැකකර ඇත්තේ ෆාතිමා සූදු පොළවල් වලට ගොස් පොලී මුදල් එකතු කරන බැවින්  ඕර්ස් ලේන් ආසන්න සමාජ ශාලාවට යන්නට ඇති බවයි. ඒ අනුව පසුදා ගොස් එහි විපරම් කළද ෆාතිමා එහි එදින පැමිණි බවට තොරතුරු ලැබුනේ නැත. ඇය ඇවිත් ගියාදැයි ඇතැමුන් අවිනිශ්චිතව විස්තර කර තිබුණි.
මේ නිසා රොසෑනාටද අඩගසා ඇයද සමග බ්ලූමැන්ඩ්ල් පෙදෙසේ පොලිස් ස්ථානයට ගිය සැමියා ඇය අතුරුදන් බවට 29 වන දින පැමිණිල්ලක් සිදු කළේය.
කෙසේ නමුත් දින තුන හතරක් ගතවනතුරුත් අතුරුදන් අය ගැන ආරංචි නොලැබුණ අතර ෆාතිමාගේ සැමියා හා දරුවෝ ඇයව සොයමින් දන්නා සෑම තැනක් ගැනම විපරම් කරමින් සිටියහ.
මේ අතර සපුගස්කන්ද මාබිම ප්‍රදේශයේ කසල ගොඩකින් හමුවූ මෘත ශරීරය ගැන දැනගන්නට ලැබීමෙන් පසු ෆාතිමාගේ සැමියා රාගම රෝහලේ මෘත ශරීරාගාරය වෙත ගොස් පරීක්ෂා කළ අතර එලෙස හමුව ඇත්තේ තම බිරිය බව සැමියා හඳුනාගත්තේය.
අනතුරුව පොලිස් පරීක්ෂණ ඒ ඔස්සේ සිදුවූ අතර 28 වනදින ඇය නිවසින් පිටත්වූ අවස්ථාවේ ඇය සමග ගිය රොසෑනා නමැති කාන්තාව ගැන සැකයක් ඇති විය.
ෆාතිමාගේ සැමියා සමග පොලිසියට ගොස් පැමිණිල්ල දමන්නටද ආ රොසෑනා මළ සිරුර හමුවීමෙන් පසු අතුරුදන් වී සිටියාය. ඇය සහෝදරයා ලෙස හඳුන්වා තිබූ ඇගේ සැමියා සමග මට්ටක්කුලිය සමිට්පුර පදිංචිවී සිටි අතර පොලිසිය කළ වැටළීමේදී එම නිවසේ දොරගුළු දමා ඔවුන් පලාගොස් ඇති බවත් දුරකථන ඇමතුම් කිසිවකට උත්තර නොදෙන බවත් සැලවිය.



මේ අතර මෙම පළායාම තුළම තවත් සැක සහිත කරුණු සැඟවී ඇති බැවින් පොලිසිය විශේෂ උනන්දුවක් දක්වා  රොසෑනා සිටි තැන් අධ්‍යයනය කළ අතර ඇයගේ දුරකථන දත්ත අනුව සැඟව සිටි ස්ථානය අනාවරණය කරගන්නට අද හැකිවිය.

කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් ඇය සැඟවී සිටි ස්ථානය අද දහවල් වටළන ලද අතර ඇයත් සැමියාත් අත්අඩංගුවට ගන්නා ලදි. ඔවුන් මෙම ඝාතනය සිදු කළ බවට පොලිසියට පාපොච්චාරණය කර ඇති බව දැනගන්නට තිබේ.

36 හැවිරිදි රොසෑනාත් ඇගේ සැමියාත් මෙම කාන්තාව සතු මුදල් හා රන් ආභරණ කොල්ල කෑමේ අටියෙන් ඝාතනය සිදු කර ඇති බවට මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත. කාන්තාව අතුරුදන් වන අවස්ථාවේ ලක්ෂ ගණනක රත්‍රන් පැළඳ සිටි බවත් අත්බෑගයේ මුදල්ද විශාල ප්‍රමාණයක් තිබූ බවත් සැමියා මින් ඉහත පවසා තිබුණි. ඝාතනයෙන් අනතුරුව  සිරුර බෑගයක දමා කුඩා ලොරි රථයක එය දමාගෙන ගොස් සපුගස්කන්ද තෙල් පිරිපහදුව කැලිකසළ දමන ස්ථානයක බෑගය තබා ගිය බවට ඔවුන් පිළිගෙන තිබේ.
සැකකරුවන් සිරුර ප්‍රවාහනය කිරීමට යොදාගත් බවට සැකකරන ලොරි රථය ද පොලිස් භාරයට ගෙන තිබෙයි.
අත්අඩංගුවට ගත් අය පොලිස් රැඳවුම්භාරයේ සිටින අතර අධිකරණයට ඉදිරිපත් කර තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතය.
  සිදුවීමට අදාළ පෙර විස්තර