sapugaskanda-murder-updates
සපුගස්කන්ද මාබිම පාරේ පිහිටි තෙල් පිරිපහදු මධ්‍යස්ථානය අසල මාර්ගයේ කැළි කසළ ගොඩක තිබූ ගමන් බෑගයක තිබී හමුවූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් සැකකාරියක හා සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම කාන්තාවගේ රොසෑනා නමැති මිතුරිය සහ මිතුරියගේ සැමියා බව ද පොලිසිය කියයි.
මෙම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු එම රොසෑනාගේ මල්ලී බවත්, සිද්ධියෙන් පසුව ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් පොලිසිය පවසයි. අත්අඩංගුවට ගෙන සිටින සැකකාරිය සහ ඇයගේ සොහොයුරා ඉකුත් 28 වැනි දින මෙම කාන්තාව රවටා මාලිගාවත්ත නිවසේ සිට ත්‍රිරෝද රථයකින් සමිට්පුරට කැඳවාගෙන ගොස් සමිට්පුර පිහිටි සැකකාරියගේ කුලී නිවසේදී ඇයගේ සහෝදරයා සමග එක්ව කාන්තාව ඝාතනය කර ඇති බවට ප්‍රශ්න කිරීමේදී හෙළිවූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.



රොසෑනාගේ බාල සහෝදරයා දැනට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත්, ඔහු තදින්ම අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින්නකු බවත් එම උසස් නිලධාරියා කීය. සැකකරු සමිට්පුර නිවසේ දී මෝල් ගසකින් කාන්තාවගේ හිසට පහරදී ඇය සිහිසුන් වූ පසුව ඇය හිස වසා සිටි රෙදි කඩෙන් ගෙල සිර කර මෙම ඝාතනය සිදුකර ඇති බවටද පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.ඝාතනයට ලක් වූ මොහොමඩ් ශාපි පාතුමා මුම්තාස් (45) නමැති කාන්තාව සුදු ක්‍රීඩාවට අමතරව, මුදල් පොලියට දීම සහ උකස් කරන රන් භාණ්ඩ සින්නවීමට නොදී මිලදී බේරාගෙන වැඩි මුදලකට දීමේ ව්‍යාපාරයක ද යෙදී සිටි බව ද පොලිසිය පවසයි.

සිද්ධියේ ප්‍රධාන සැකකාරිය රොසෑනා පවුමක පමණ රන් මුද්දක් රුපියල් 25,000 ක මුදලකට උකස් තබා ඇති බවත්, එය මාලිගාවත්තේ කාන්තාව විසින් මුදල් ගෙවා බේරා ගත්තද ඉන් බඩුවේ වටිනාකමට අදාළ මුදල ඇයට මෙතෙක් ලබා නොදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දෙදෙනා අතර අමනාපයක් පැවැති බවට තොරතුරු ලැබී තිබූ බවද පොලිසිය පවසයි.

සිද්ධිය වූ දින සවස ප්‍රධාන සැකකරුට අයත් රන්  මාලයක් බේරාගැනීමට ඇති බවට පවසා සැකකාරිය ත්‍රිරෝද රථයකින් මාලිගාවත්ත නිවසේ සිට සමිට්පුරට කැඳවාගෙන විත් ඇති බවත් පසුව මාලය උකස් කළ රිසිට්පත ගෙන ඒමට නොහැකි වූ බව පවසා මොවුන් දෙදෙනා කාන්තාව සමග  සමිට්පුර ප්‍රධාන සැකකාරියගේ කුලී නිවසට ගොස් ඇති බවත් පොලිසිය කියයි රුපියල් 25,000 ට බේරාගත් මුද්දේ නියම වටිනාකමට අදාළ මුදල අවශ්‍ය බවට ප්‍රධාන සැකකරු මෙහිදී කාන්තාවට තර්ජනය කර ඇති අතර එහිදී සැකකරු හා පාතුමා (ඝාතනය කළ කාන්තාව) අතර බහින් බස් වීමක් සිදුවී ඇති බව ද පොලිසිය සඳහන් කරයි.මෙම බහින් බස්වීම දුරදිග ගොස් සැකකරු නිවස තූළ තිබූ මෝල් ගසකින් පාතුමාගේ හිසට පහර දී ඇය සිහිසුන් වූ පසුව ගෙල සිරකර ඝාතනය කර ඇති බවට හෙළි වූ බව ද පොලිසිය පවසයි.පසුව ප්‍රධාන සැකකාරිය ඇයගේ ඇඳුම් දමන බෑගයේ තිබූ ඇඳුම් ඉවත් කර කාන්තාවගේ මළසිරුර අත් පා ගැටගසා එම ගමන් මල්ලට දමා එය, ප්ලාස්ටික් පැදුරකින් ද ඔතා එදින රාත්‍රියේ එම නිවසේ සඟවාගෙන සිට ඇති බව ද පොලිස් ආරංචි මාර්ග කියයි.

නිවසේ තිබූ සියලු ලේ පැල්ලම් එදිනම සෝදා ඇති අතර සිද්ධිය වන අවස්ථාවේ එම නිවසේ සිට ඇත්තේ සැකකරු සහ සැකකාරිය පමණක් බව ද පොලිසිය පවසයි. සැකකාරියගේ දරුවන් තිදෙනා සහ සැමියා පසුව නිවසට පැමිණ ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ට සැකයක් නොහිතෙන ලෙස ඇය හැසිරී ඇතැයි ද කියති. පසුදින (29) පෙරවරුවේ සැකකාරියගේ සැමියා රැකියාවට ගොස් ඇති අතර, දරු තිදෙනා මවගේ නිවසට යවා ඇති සැකකාරිය සිද්ධියේ ප්‍රධාන සැකකරු වන සොහොයුරා කැඳවාගෙන ඔහු ලවා කුඩා ලොරියක් ද ගෙන්වාගෙන ලොරි රථයේ රියැදුරුට සැකයක් ඇති නොවන පරිදි මළසිරුර දැමූ ගමන් බෑගයද, මෙට්ට ද, කැඩී තිබූ ශීතකරණයක් ද, කැඩුණු පුටුවක්ද ලොරියේ දමා වැල්ලම්පිටිය ප්‍රදේශයට රැගෙන ගොස් ඇත.

ලොරි රියදුරුට සැක නොසිතන ලෙස සැකකාරිය සහ ඇයගේ දියණියක් ලොරියේ ඉදිරිපස ගමන් ගෙන ඇති අතර, ප්‍රධාන සැකකරු තමා විසින්ම ත්‍රිරෝද රථයකින් පැමිණ ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. වැල්ලම්පිටිය ප්‍රදේශයේ ශීතකරණ අලුත්වැඩියා කරන ස්ථානයකට ශීතකරණය රැගෙන ගොස් ඇති අතර, ලොරියේ තිබූ මෙට්ටය, පුටුව සහ මළසිරුර සහිත ගමන් බෑගය සැකකරු විසින් ඔහු පදවාගෙන ආ ත්‍රිරෝද රථයට එහිදී පටවා ගෙන ඇති බවද පොලිසිය කියයි. පසුව සැකකාරිය හා ඇයගේ දියණියද ලොරි රථයෙන්ම සමිට්පුර නිවස බලා ගොස් ඇත.

ප්‍රධාන සැකකරු පුටුව හා මෙට්ටය වෙනත් ස්ථානයක අතහැර මළසිරුර සහිත බෑගය පමණක් ත්‍රිරෝද රථයෙන් ගෙන ගොස් 29 වැනිදා දහවල් එම සිරුර සහිත ගමන් බෑගය සපුගස්කන්ද මාබිම පාරේ කැළි කසළ ගොඩට දමා ඇති බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකාරිය සහ ඇයගේ සැමියා 36 වැනි වියේ පසුවන බවත්, මෙම ඝාතනයට ඇයගේ සැමියාගේ යම් සහායක් ලැබී ඇතිද යන්න හෙළිකර ගැනීම සඳහා ඔහු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.මළසිරුර ගෙනගිය බව කියන කුඩා ලොරි රථය ද පොලිසිය බාරයට ගෙන ඇත.

සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදා පරීක්ෂණ පවත්වන බව ද පොලිසිය පවසයි. සැකකරු සහ සැකකාරිය මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (7) ඉදිරිපත් කර පැය 48ක රැඳවුම් නියෝග ලබාගෙන රඳවාගෙන ප්‍රශ්න කරගෙන යන බව ද පොලිසිය කියයි.බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ, කැලණිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රෝෂාන් ඩයස්, සහකාර පොලිස් අධිකාරි අර්ජුන මාහිංකන්ද යන මහත්වරුන්ගේ උපදෙස් මත,
කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කීර්තිරත්න, පොලිස් පරික්ෂක රුමේෂ් රත්නායක, උප පොලිස් පරික්ෂක දෙහිදෙණිය යන මහත්වරුන් සහ සපුගස්කන්ද පොලිසියේ වැඩ බලන පොලිස් අමරසේකර, සැරයන් (12011), පසිලාල් (51737), කොස්තාපල් (31805) චතුරංග යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති. කැලණිය කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ (සොකෝ) අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.වී. කහටපිටිය, පොලිස් පරීක්ෂක එස්.ඒ.එස්.ඩී. සේස්වාධීර, උප පොලිස් පරීක්ෂක ජයලත්, කොස්තාපල්වරුන් වන ප්‍රියදර්ශන (81342), පෙරේරා (84545) යන මහත්වරු එම ස්ථානයට ගොස් පරීක්ෂණ පැවැත්වූහ.

(ඉන්දිකා රාමනායක)