sapugaskanda-murder-woman

ඊයේ දින සපුගස්කන්ද ප්‍රදේශයේ පාළුවට ගිය කසල ගොඩක තිබී හමුවූ ගමන් මල්ලක බහා තිබී සොයාගත් කාන්තා මළ සිරුර සම්බන්ධ සිදුකෙරෙන විමර්ශන අලුත් අතට යොමු කරමින් දැන් ඒ ගැන තොරතුරු ගණනාවක් අනාවරණය වී තිබේ.
මෙම සිරුර කාගේ කවුදැයි විමසීම සඳහා පොලිසිය අතුරුදන් වූ අය සොයන පිරිස් ගණනාවකට අද දිනයේ කැඳවීම් කර රාගම රෝහලේ මෘත ශරීරාගාරයේදී සිරුර විවෘත කර පෙන්වමින් විමසා බැලූ අතර දහවල් කාලයේ පියෙකු දරුවන් දෙන්නෙකු පැමිණ මේ සිටින්නේ තමන්ගේ බිරිය බවට පවසා හඳුනාගෙන තිබුණි.


අතුරුදන් කාන්තාව වයස 44 ක්වූ මොහොමඩ් සාෂි පාතිමා මුම්තාස් බව ඔවුන් පවසන ලදි.
මාලිගාවත්ත නිවාස සංකීරණයේ නිවසක ජීවත්වෙමින් සිටි බවද ඔහු පවසා තිබුණි.

මෙම පුද්ගලයා සහල් සම්බන්ධ ව්‍යාපාරිකයෙකු වූ අතර බිරිය රැකියාවක් කර නැත. නමුත් ඇය මුදල් පොලියට දීම හා ඒවා එකතුකිරීම අමතර ව්‍යාපාරයක් ලෙස කළ බවත් තමන්ගේ මුදල් ඇය එලෙස ලබාදී පොලිය තුළින් අමතර ආදායමක් ඉපැයූ බවත් එම පුද්ගලයා පවසා තිබේ.
ඇය මුදල් ලබාදීම සදහා සමාජ ශාලාවල සූදු පැවැත්වෙන ස්ථාන වෙතද ගමන් කරන බව ඔහු දන්වා සිටි අතර ඇය අතුරුදන්වූ බව කියන 28 වනදා ගොස් තිබුනේද එවැනි සූදු පොළකට බව පවසා තිබුණි.
අතුරුදන්වූ 28 වැනිදා පස්වරුවේ සිය නිවසෙන් තවත් කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු සමඟ ත්‍රීරෝද රථයකින් පිටත්ව ගොස් තිබෙන අතර තම බිරිඳ නිවසට නොපැමිණීම නිසා ත්‍රීරෝද රථයෙන් අවසන් වරට ඇය සමඟ ගිය කාන්තාව ගැන සැමියා දැන සිටි බැවින් ඇයගෙන් විමසා ඇත. ඇය පවසා ඇත්තේ මියගිය කාන්තාව බ්ලූමැන්ඩල් - ඕර්ස් ලේන් ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයෙන් බැස ගිය බවයි.
පසුගිය 01 වැනිදා බ්ලූමැන්ඩල් පොලිසියට අතුරුදන් වූ කාන්තාවගේ සැමියා මෙම කාන්තාවද කැටුව ගොස් පැමිණිල්ලක් කර තිබේ.
නමුත් ඊට දින ගණනකට පසුත් කාන්තාව නිවසට නොපැමිණියාය. සපුගස්කන්ද - මාබිම ප්‍රදේශයේ මාර්ගයක, බෑගයක තිබී කාන්තා මළ සිරුරක් හමුවීමේ පුවත දැනගෙන අතුරුදන් කාන්තාවගේ සැමියා හා දරු දෙන්නා මෙලෙස පැමිණ සිරුර හඳුනාගන්නා ලදි.
මියගිය කාන්තාව මුදල් පොලියට ලබාදීම සිදුකරන අතරම මුදලට සූදු ක්‍රීඩාවේ නිරත වන තැනැත්තියක බවද වාර්තා විය.
සූදු වල නියැළෙන පුද්ගලයින්ට මුදල් අවශ්‍යතා පැනනැගුණ අවස්ථාවල ඇය සන්තකයේ තබාගෙන තිබෙන මුදල් පොලී පදනම මත ලබාදෙන බවත්  මෙදිනද එවන් කටයුතු සිදු කරන්නට ඇති බවත් සැමියා පවසා තිබේ.


පොලිසිය සැක කරන්නේ එලෙස පොලියට මුදල් ගත් පුද්ගලයෙකු මුදල් ඉල්ලා කරදර කරන නිසා ඝාතනය කලා විය හැකි බවකි. එසේ නැති නම් ඇය සතු මුදල් පැහැර ගැනීමට උත්සාහ කළ අයෙකු ඇයව රැගෙන ගොස් කොල්ලකා මරාදමා ඇති බවටය.
කාන්තාව සිය නිවසින් පිටත්ව ගිය ත්‍රීරෝද රථයේ සිටි කාන්තාව වැඩිදුර ප්‍රශ්න කිරීමට පොලිසිය අද සොයා ඇතත් එකී කාන්තාව සහ ඇගේ සහෝදරයා බව කියන පුද්ගලයා ඔවුන් වාසය කරන මට්ටක්කුලිය - සමිට්පුර ප්‍රදේශයේ නොමැති බවද දැනගන්නට ලැබී තිබේ.

සැමියා ලබාදුන් කටඋත්තරය අනුව අවසන්වරට ඇය නිවසින් පිටත්වන විට ලක්ෂ ගණනාවක් වටිනා රන් ආභරණ පැළඳ සිටි බව කියැවුණි. හමුවූ මළ සිරුර සමග වටිනා කියන කිසිවක් නොවීය. ඇගේ ජංගම දුරකථනයද තවම අතුරුදන්ය.
අතපයද ගැටගසා ගමන් බෑගයක ඇය බහාලා මෙලෙස කසල ගොඩට ගෙනවිත් දමා තිබුණි.
අවසන් වරට එම කාන්තාව ගොස් සිටි ස්ථානයට අදාළව පැමිණි සිටි අය ගැන පොලිසිය මේ වනවිට දීර්ඝ විමර්ශන අරඹා ඇත.
  සිදුවීමට අදාළ පෙර විස්තර