sapugaskanda-oil-issue
සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙහි නිෂ්පාදන කටයුතු අද(15) සිට නතර කර තිබේ. මෙයට හේතුව වශයෙන් සඳහන් කර ඇත්තේ ගබඩා කර ඇති බොරතෙල් අවසන් වීම හේතුවෙන් එහි නිෂ්පාදන කටයුතු අත්හිටවූ බවයි.
බොරතෙල් මිල දී ගැනීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ ටෙන්ඩර්වලට බොරතෙල් සැපයුම්කරුවන් ඉදිරිපත් වී  නැතිවීම හේතුවෙන් මේ තත්වය මතුව ඇත. ඉදිරියේදී ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක්ද මතුවිය හැකි බව මේ සම්බන්ධයෙන්  වෘත්තීය සමිති පෙන්වා දෙයි.


 දෙසැම්බර් අවසානය තෙක් බොරතෙල් නැවක් මෙරටට නොපැමිණෙන බව ද එතෙක් ඩීසල්, පෙට්‍රල්, ඇතුළු දැවිතෙල් සැපයීම අඩාළ වනු ඇතැයි ද ඛණිජ තෙල් වෘත්තිය සමිති පවසයි.
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් සඳහන් කළේ තවත් දින 15කට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බවයි.
පවතින වියදම අනුව පිරිපහදු කිරීමෙන් වැඩිපුර ලැබෙන්නේ පෙට්‍රල් සහ ඩීසල් නොව දැවිතෙල්  වන අතර ඩොලර් මිලියන හැටක් වැය කර බොරතෙල් ගෙන්වූවත් පිරිපහදු කිරීමෙන් පසුව ලබාගත හැක්කේ ඩොලර් මිලියන තිහක ඩීසල් හා පෙට්‍රල් ප්‍රමාණයක් බව වාර්තාවේ.


සපුගස්කන්ද පිරිපහදුව අක්‍රීය වුවහොත් යළි සක්‍රීය කිරීමටද සතියක පමණ කාලයක් ගතවනු ඇතැයිද පොදු සේවක සංගමයේ සභාපති ආචාර්ය අසෝක රන්වල දන්වා ඇත.
මේ පිළිබඳ සැබෑ තත්ත්වය බලශක්ති අමාත්‍යාංශය අද (15 වැනිදා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.