semi-final-england-new-zealand

අවසන් වරට 2016 වසරේ පැවති විස්සයි20  ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය යළිත් වරක් මතකයට නංවමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී එංගලන්තයට එරෙහිව නවසීලන්තය අද (10)දා තරග බිමට පිවිසීමට නියමිතය. 



අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව.7.30ට ආරම්භ වීමට නියමිතය.එංගලන්තය අවසන් මහා තරග 02කට ක්‍රීඩා කර ඇති නමුත්, නවසීලන්තය තවමත් එක් අවසන් මහ තරගයකට හෝ ක්‍රීඩා කර නොමැත. එබැවින් අවසන් වරට පැවති ලෝක කුසලාන තරගාවලීයේ අවසන් පූර්ව වටයේදී එංගලන්තය හමුවේ ලැබූ පරාජයේ වාඩුව ගැනීමට නවසීලන්ත කණ්ඩායමට මෙය කදිම අවස්ථාවක් කරගත හැකිය. එම අභියෝගය ගැනීමට නවසීලන්තය සමත් වුවහොත්, ඔවුන්ට විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට අවසන් මහා තරගයකට ක්‍රීඩා කිරීමේ අවස්ථාවද උදාවනු ඇත.සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩය යටතේ තරග වැදුණ එංගලන්තය, අවසන් පූර්ව වටයට පිවිසියේ තරග 04ක් ජයගෙන එක් තරගයක් පමණක් පරාජයට පත් වෙමිනි.

එහිදී ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ බ.ඉ. කොදෙව් කණ්ඩායම් පරාජය කළ එංගලන්තය, පරාජයට පත්වූයේ දකුණු අප්‍රිකාව හමුවේ පමණි. 2019 ලෝක ශුරයන් බවට පත්වූ එංගලන්තය, විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට පිවිසි තෙවැනි අවස්ථාව මෙය විය. මින් පෙර සහභාගි වූ අවසන් පූර්ව තරග දෙකේදී ශ්‍රී ලංකාව (2010 වසරේදී) සහ නවසීලන්තය 2016 වසරේදී පරාජය කිරීමට එංගලන්තය සමත් විය.සුපිරි 12 දෙනාගේ වටයේ දෙවැනි කාණ්ඩය යටතේ තරග වැදුණ නවසීලන්තය, පාකිස්තානය හමුවේ පරාජයට පත්වූ නමුත් ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, ස්කොට්ලන්තය සහ නැමීබියාව පරාජය කරමින් අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගත්තේය.



නවසීලන්තය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට පිවිසි තෙවැනි අවස්ථාව මෙය විය. මින් පෙර අවසන් පූර්ව වටයට පිවිසි අවස්ථා දෙකේදී පාකිස්තානය හමුවේ 2007 වසරේදී සහ එංගලන්තය හමුවේ 2016 වසරේදී පරාජය වීම නිසා ඔවුන්ට අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි විය. එංගලන්තය සහ නවසීලන්තය අතර විස්සයි20 තරග 21ක් පවත්වා ඇති අතර, ඉන් තරග 13කදී නවසීලන්තය පරාජය කිරීමට එංගලන්තයද, තරග 07කදී එංගලන්තය පරාජය කිරීමට නවසීලන්තයද සමත් වී ඇත. එක් තරගයක් පමණක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ.මෙම කණ්ඩායම් දෙක අවසන් වරට එකිනෙකාට එරෙහිව තරග වැදී ඇ ත්තේ මීට වසර 02කට පෙරය.

2019 වසරේදී පැවති එම තරගයේදී දෙපිලේම ලකුණු සම වීමෙන් අනතුරුව සුපිරි පන්දු වාරයේදී නවසීලන්තය පරාජය කිරීමට එංගලන්තය සමත් වී ඇත. තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවැනි ස්ථානයේ පසුවන එංගලන්ත ආරම්භක පිතිකරු ජෝස් බට්ලර්, තරග 05කදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමග ලකුණු 240ක් රැස්කිරීමට සමත්ව සිටියි. නවසීලන්ත ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් තරග 05කදී අර්ධ ශතකයක් සමග ලකුණු 176ක් ලබා සිටින අතර, ඔහු පසුවන්නේ වැඩිම ලකුණු ලාභීන් අතර 11වැනි ස්ථානයේය. ඔවුන් දෙදෙනා හැරුණුකොට නවසීලන්තය වෙනුවෙන් නායක කේන් විලියම්සන් (126), ඩැරල් මිචෙල් (125) සිටිති.කෙසේ නමුත් එංගලන්තය වෙනුවෙන් ජේසන් රෝයි (123) පිත්තෙන් දක්‍ෂතා දක්වමින් සිටියද, සුපිරි 12 දෙනාගේ වටයේදකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගයේදී කලාවේ ආබාධයකට ලක්වීම නිසා ජේසන්රෝයිට අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි විය.

ඔහුගේ ආදේශකයා ලෙස ජේම්ස් වින්ස් හෝ සෑම් බිලින්ස් අද තරගයට ක්‍රීඩා කරනු ඇත. කෙසේ වුවත් ඔවුන් දෙදෙනාටම වඩා ආරම්භක පිතිකරුවන් ලෙස අත්දැකීම් ඇති ජොනී බෙයාස්ටෝ හෝ ඩේවිඩ් මලාන් සමග ජෝස් බට්ලර් සමගින් අද තරගයේදී එංගලන්ත ඉනිම ආරම්භ කිරීමට වැඩි ඉඩක් ඇත.නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් තරග 05කදී කඩුලු 3ක් දවා ගනිමින් වැඩිම කඩුලු ලාභීන් අතර තෙවැනි ස්ථානයේදී රැදී සිටියි. එංගලන්ත පාදඟ පන්දු යවන ක්‍රීඩක ආදි රෂීඩ් සහ නවසීලන්ත පාදඟ පන්දු යවන ක්‍රීඩක ඉෂ් සෝධි තරග 05කදී කඩුලු 08 බැගින් දවාගෙන ඇති නමුත්, කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍යය අනුව රෂීඩ් වැඩිම කඩුලු ලාභීන් අතර 09වැනි ස්ථානයේද, සෝධි එහි 13වැනි ස්ථානයේද පසුවෙති.



ඔවුන්ට අමතරව එංගලන්තය වෙනුවෙන් මොයින් අලී සහ නවසීලන්තය වෙනුවෙන් ටෟම් සවුති කඩුලු 07 බැගින් බිඳහෙළා පන්දුවෙන් දස්කම් දක්වා ඇත. පිතිහරඹ අංශය කෙරෙහි අවධානය යොමුකරන විට කණ්ඩායම් දෙකම එක හා සමාන ශක්තීන්ගෙන් සමන්විත වුවත්, පන්දු යැවීමේ අංශය ගත් කල එංගලන්ත කණ්ඩායමේ වැඩි ශක්තියක් දඟ පන්දු යවන්නන් සතුවද, නවසීලන්ත කණ්ඩායමේ වැඩි ශක්තියක් වේග පන්දු යවන්නන් සතුව පවතී. එබැවින් අද තරගය පැවැත්වෙන්නේ එංගලන්ත දඟ පන්දු යවන්නන් සහ නවසීලන්ත වේග පන්දු යවන්නන් අතර තරගයක් ලෙසිනි. එහිදී ඔවුන්ගෙන් වැඩි දස්කම් දක්වන අය තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යනු ඇත.

(ශානුක අරවින්ද - අබුඩාබි සිට)