sigiriya-man-collapse-building

සිගිරිය ප්‍රදේශයේ අලුතෙන් ඉදි කෙරෙන පස් මහල් ගොඩනැගිල්ලක පහළ බිම් කොටසේ පුද්ගලයෙකු ඇදවැටී මියගොස් ඇති බව ඊයේ (03දා) පැමිණිල්ලක් ලැබී ඇතැයි සීගිරිය පොලිසිය පවසයි.  මෙම අදාළ ස්ථානයේ පෞද්ගලික ආයතනයකට අයත් සංචාරක හෝටලයක් ඉදිකරමින් පවතින අතර එම ස්ථානයේ තිබී පුද්ගල මළසිරුරක් හමුවීමත් සමග එම ඉදිකිරීම් පරිශ්‍රය සහ පෞද්ගලික ආරක්ෂක ආයතනයකට අයත් නිලධාරින් යොදවා කිසිදු මාධ්‍යවේදියෙකුට එම ස්ථානයට ඇතුළු වීමට ඉඩ නොදීමට එහි කළමනාකාරිත්වය උපදෙස් ලබා දී තිබිණි.

මෙම සිද්ධිය වාර්තා වීමත් සමග එම ස්ථානයට ගිය මාධ්‍යවේදීන් සිද්ධිය පිළිබඳ වාර්තා කිරීමට උත්සාහ කළද එහි ආරක්ෂක නිලධාරීන් සහ සේවකයන් කියා සිටියේ අදාළ ආයනතයේ ඉහළ කළමනාකාරීත්වයේ උපදෙස් මත මෙම සිද්ධිය වූ ස්ථානයට කිසිදු මාධ්‍යවේදියෙකුට ඇතුළත් වීම තහනම් කොට ඇති බවයි. දඹුල්ල - සීගිරිය ප්‍රධාන මාර්ගයේ පොද්ගලිකව ඉදිවෙමින් පවතින මෙම පස් මහල් ගොඩනැගිල්ලේ පහළ බිම මෙම පුද්ගලයා ඇදවැටී ඇති ආකාරය එම ස්ථානයේ සිට දැක ගැනීමට හැකි විය.



දඹුල්ල සහකාර පොලිස් අධිකාරී ඒ.එස්. ඉ කේ. බණ්ඩාර මහතා කියා සිටියේ තමන්ට ලද තොරතුරු අනුව මෙම පුද්ගලයා පෙර දිනයේ මෙම මහලකින් ඇද වැටෙන්නට ඇති බවයි. ඔහු හැඳුන්ගමුව ප්‍රදේශයේ පදිංචි නවරත්න බණ්ඩා නමැති එහි සේවයකළ සේවකයකු බවද හෙතෙම සඳහන් කළේය.ඇතැම් විට මෙම සිද්ධිය මාධ්‍යවේදින්ගෙන් සගවන්නට ගත් උත්සාහය තමා නොදන්නා බවත් ඒ පිළිබදව තමාට කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැකි බවත් කසේ වෙතත් මෙම මරණීය සිදු වූ ආකාරය හා ඊට හේතුව පිළිබදව අපක්ෂපාතී පරික්ෂණයක් පවත්වන බව සහකාර පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් සදහන් කළේය.




මෙම අදාළ ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරීන් සහ පෞද්ගලික මුරකරුවන් බව සඳහන් කළ පිරිස කියා සිටියේ මෙම සිද්ධිය වූ ස්ථානයට හෝ තම පෞද්ගලික ආයතනයට කිසිදු මාධ්‍යවේදියකුට ඇතුළත් වීමට නොදෙන බවයි. අදාළ පුද්ගලයා පිළිබඳ තමන් කිසිවක් නොදන්නා බවත් හෝටලයට තුළට කිසිදු අයෙකුට ගමන් කිරීමට පවා කිසිවෙකුට අවසර ලබා නොදෙන බවද ප්‍රදේශවාසීහු පවසා සිටියහ. මේ අතර සීගිරිය පොලීසියේ නිලධාරීන් සිවිල් ඇදුමෙන් සහ නිල ඇදුමෙන් සැරසී එම ස්ථානයේ සිටින ආකාරය ප්‍රධාන මාර්ගයට දර්ශනය විය.

(එස්. කරුණාරත්න)