sjb-protest

සමගි ජනබලවේගය අද (16දා) පැවැත්වීමට සැලසුම් කර ඇති, “16 ජන බලය කොළඹට” විරෝධතා
රැලිය නවත්වන ලෙසට වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිසි 46කින් අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් අතුරින්, 31ක් ප්‍රතික්ෂේප වී ඇත. 



තවත් පෙත්සම් 13ක් මඟින් කර තිබූ ඉල්ලීමට අනුව අදාළ උද්ඝෝෂණ සඳහා තහනම් නියෝග නිකුත් කර ඇත.

පෑලියගොඩ හා කොටහේන යන පොලිසි මඟින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් අධිකරණය හමුවේ අද (16දා) කැඳවීමට නියමිතව ඇත.



බ්ලූමැන්ඩල්, කිරුළපන, නාරාහේන්පිට, බම්බලපිටිය, වේල්ලවීදිය, වැලිකඩ, ගොතටුව, මුල්ලේරියාව,
මාලිගාවත්ත, වැල්ලම්පිටිය, බොරැල්ල, මෝදර, කුරුඳුවත්ත, දෙමටගොඩ, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ,
මට්ටක්කුලිය, කෙසෙල්වත්ත, මිරිහාන, මහරගම, බොරලැස්ගමුව, ගල්කිස්ස, මිනුවන්ගොඩ, කටුනායක, ගම්පහ, ගනේමුල්ල, යක්කල, බෙම්මුල්ල, මල්වතුහිරිපිටිය, වැලිවේරිය සහ වීරඟුල යන පොලිස් ස්ථාන 31 මඟින් ඉදිරිපත් කරන ලද පෙත්සම් මෙසේ ප්‍රතික්ෂේප වී තිබේ.

කඩවත, කිරිබත්ගොඩ, සපුගස්කන්ද, බියගම, මීගහවත්ත, එ‍ෙ¾ඩ්රමුල්ල, වත්තල, රාගම, කැලණිය ඇතුළු පොලිස් ස්ථාන 12ක් මහර සහ වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණ වෙත කරනලද ඉල්ලීම්ද, හොරණ පොලිසිය විසින් හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීමද පිළිගෙන ඇති අධිකරණය එම උද්ඝෝෂණ සඳහා තහනම් නියෝග නිකුත් කර ඇත.   

මේ අතර සමගි ජන බලවේගය පක්ෂය විසින් “16 ජන බලය කොළඹට” නමින් අද (16දා) දින
පැවැත්වීමට නියමිත විරෝධතා රැලිය නවත්වන ලෙසට වාරණ නියෝගයක් නිකුත් කරන්න යැයි පොලිසි 18ක් කළ ඉල්ලීම් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (15දා) ප්‍රතික්ෂේප කළේය.

පැවැත්වීමට නියමිත එම උද්ඝෝෂණය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන
උපමානවලට අනුකූලව පවත්වන ලෙස සමගි ජන බලවේගය වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා කෙසෙල්වත්ත පොලිසිය විසින් කරනු ලැබූ ඉල්ලීමද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල
මහතා ඊයේ ප්‍රතික්ෂේප කළේය.

උද්ඝෝෂණ මඟින් කොවිඩ් ව්‍යාප්ත වීමට අදාළ නිල සංඛ්‍යා ලේඛන සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව
නොතිබීම පිළිබඳ විමසා සිටි මහෙස්ත්‍රාත්වරයා එම අවස්ථාවේ අධිකරණය තුළ සිටි අඩියකවත් පරතරයක් නැති පොලිස් නිලධාරීන් විශාල පිරිස් පිළිබඳ අවධානය යොමු කළ අතර උද්ඝෝෂණ පොකුරක් පිළිබඳ මෙතෙක් සඳහන් වී නොමැති බව දැනුම් දුන්නේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන මාර්ගෝපදේශවල මහජන රැස්වීම්වලට
සහභාගි විය හැකි පුද්ගල සංඛ්‍යාව හෝ ප්‍රතිශතයක් පිළිබඳව කරුණු දක්වා නොමැති බවත් පොලිසි විසින් කරනු ලැබූ ඉල්ලීම් නිසියාකාරව කරුණු ඉදිරිපත් කර නොමැති බැවින් එම ඉල්ලීම් පිළිගත නොහැකි බවද  ප්‍රකාශ කළ අධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව උද්ඝෝෂණයේ අයිතිය මහජනතාව සතුව ඇති බවත් මෙන්ම එම උද්ඝෝෂණය කෙසෙල්වත්ත පොලිස් බල ප්‍රදේශය තුළ පැවැත්වෙන බවට නිශ්චිතව කරුණු ඉදිරිපත් වී නොමැති බවත් යන කරුණු සැලකිල්ලට ගෙන මහෙස්ත්‍රාත්වරයා එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේය.



කොරෝනා රෝගයට අදාළව සෞඛ්‍ය ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව යමකු එය උල්ලංඝනය කරන්නේ නම් ඒ සඳහා පොලිස් බලතල පාවිච්චි කර ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහෙස්ත්‍රාත්වරයා පොලිසිය වෙත දන්වා සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් කෙසෙල්වත්ත, වේල්ලවීදිය, ආදුරුප්පුවීදිය ඇතුළු කොළඹ මධ්‍යම කොට්ඨාසයේ පොලිස් ස්ථාන වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එහි ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ එහි පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් ඇතුළු පිරිසක් විසින් අද (16දා) දින කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම් වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබෙන බවත් ඒ අනුව කොරෝනා වසංගතය හේතුවෙන්  රට වසා දමා නැවත විවෘත කර ඇති අවස්ථාවක සෞඛ්‍ය නීතිරීති උල්ලංඝනය කරමින් පවත්වනු ලබන මෙවැනි රැස්වීම හරහා කොරෝනා තවදුරටත් ව්‍යාප්ත වීම සිදුවිය හැකි බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පැවැසීය.

කොරෝනා වසංගත රෝග පැතිරීම හේතුවෙන් පසුගිය 09 වැනි දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය ආරක්ෂිත උපමානවලට පටහැනිව උද්ඝෝෂණ පැවැත්වීම හා ඒකරාශී වීම වසංගතය තවදුරටත් වැඩි වීමට හේතු වන බව දැනුම්දී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පැවැසීය.

ජනතාවට උද්ඝෝෂණවලට සහභාගි වීමට ඇති අයිතිය පිළිගන්නා අතර මෙම උද්ඝෝෂණය නැවැත්වීමට නොව එය නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්වීමට නියෝග නිකුත් කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

උද්ඝෝෂණයට සහභාගි වීමට නියමිත පිරිස වෙනුවෙන් නීතිඥ ගුණරත්න වන්නිනායක, නීතිඥ අතුල එස්. රණගල ඇතුළු නීතිඥයන් කණ්ඩායමක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ හතකින් පොලිස් බලප්‍රදේශ විස්සකින් මෙම ඉල්ලීම් සිදු කළ අතර පොලිස් වසම් හා අටක ඉල්ලීම් අධිකරණය ප්‍රතික්ෂේප කළ අතර පෑලියගොඩ හා කොටහේන යන පොලිස් ස්ථාන දෙක සම්බන්ධ තීරණය සඳහා අද දින (16දා) එම නඩු අධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.

බ්ලූමැන්ඩල්, කිරුළපන, නාරාහේන්පිටිය, බම්බලපිටිය, වේල්ලවීදිය, වැලිකඩ, ගොතටුව, මුල්ලේරියාව,
මාලිගාවත්ත, වැල්ලම්පිටිය, බොරැල්ල, මෝදර, කුරුදුවත්ත, දෙමටගොඩ, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ,
මට්ටක්කුලිය, කෙසෙල්වත්ත යන පොලිස් ස්ථාන විසින් කරනු ලැබූ ඉල්ලීම් මෙලෙස අධිකරණයෙන් ප්‍රතික්ෂේප විය.

සමගි ජන බලවේගය පක්ෂය විසින් “16 ජන බලය කොළඹට” යනුවෙන් උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කර ඇති බවත් රට තුළ පවත්නා කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ජනයා 5000 අධික පිරිසක් මෙලෙස ඒකරාශී වුවහොත් කොරෝනා තත්ත්වය තව වැඩිවීම මත ජන ජීවිතයට බාධාවක් වන බවත් මෙම පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ පවතින බවට තොරතුරු ලැබී ඇති බවත් සඳහන් කරමින් පොලිසි විසින් මෙලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ හමුවේ කරුණු වාර්තා කර තිබිණි.



මෙම විරෝධතා රැලියට සමගාමීව තම පොලිස් බල ප්‍රදේශ තුළද ජනතාව ඒකරාශී වුවහොත් කොවිඩ්
වසංගත මාර්ගෝපදේශ නීති කඩවීම, ආරක්ෂාවට තර්ජනයක් එල්ලවීම වැනි හානිදායක කරුණු කාරණා ඇතිවීමට ඉඩ ඇති බැවින් තම පොලිස් බලප්‍රදේශ තුළ එවැනි ජනතා ඒකරාශීවීමක් හෝ විරෝධතාවක් පැවැත්වීම වළක්වාලන තහනම් නියෝගයක් ලබාදෙන ලෙසට මිරිහාන, මහරගම, කොහුවල, බොරලැස්ගමුව යන පොලිස් ස්ථාන හතර කරන ලද ඉල්ලීම් නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඊයේ (15දා) ප්‍රතික්ෂේප කළේය.

ගල්කිස්ස පොලිසිය ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක්ද මිනුවන්ගොඩ හා කටුනායක යන පොලිස් ස්ථාන දෙක මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක්ද එසේ ප්‍රතික්ෂේප කෙරිණි.

ගම්පහ, ගණේමුල්ල, යක්කල, බෙම්මුල්ල, මල්වතුහිරිපිටිය, වැලිවේරිය හා වීරඟුල යන පොලිස් ස්ථාන හතක් ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම්ද එසේ ප්‍රතික්ෂේප කෙරිණි.

මේ අතර ‘ජන බලවේගය කොළඹට’ යන මැයෙන් සමගි ජන බලවේගය පක්ෂය පැවැත්වීමට නියමිත
උද්ඝෝෂණයට සමගාමීව හොරණ අධිකරණ බල ප්‍රදේශයේ උද්ඝෝෂණ හා ඒකරාශී වීම්වලට එරෙහිව තහනම් නියෝග නිකුත් කිරීමට හොරණ මහෙස්ත්‍රාත් චාමනී විජයබණ්ඩාර මහත්මිය ඊයේ (15දා) නියෝග කළේය.