sri-lanka-england-cricket
විශාල වෙනස්කම් කිරීමට වඩා එක් එක් ක්‍රීඩකයන් තමන්ට පැවරී ඇති මූලික රාජකාරීන් නිසි ලෙස ඉටුකිම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නේ නම් එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගය ජයගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් අපහසු කාර්යක් නොවන බව මහීෂ් තීක්ෂණ පවසයි.  ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරගය වෙනුවෙන් ඊයේ (30දා) පැවති මාධ්‍ය හමුවේදී , ඔහු ඒ බව පවසා සිටියේය. "පසුගිය මාස කිහිපයේදීම අපේ පන්දු යවන්නෝ හොඳටම පන්දු යවලා තියෙනවා. ඒ නිසා අපිට පන්දු යැවීමේ ලොකු වෙනසක් කරන්න ඕන වෙයි කියලා මං හිතන්නෙ නෑ. වැදගත්ම දේ තමයි අපි අපේ මූලික රාජකාරී හරියට කරන එක. එංගලන්ත කණ්ඩායම ක්‍රීඩා කරපු එක තරගයකදිවත් ප්‍රතිවාදී පන්දු යවන්නේ මුල් පන්දුවාර 06 (අධිවේගී) තුළදී කඩුලු දෙක තුනක් දවාගෙන එයාලට පීඩනයක් දීලා නෑ. ඉතින් මං හිතනවා අපිට ඒ දේ කරන්න පුළුවන් නම් ඒකෙන් තරගයට ලොකු බලපෑමක් එල්ල වෙයි කියලා” යැයි තීක්ෂණ පැවසීය.


විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (01) ප.ව. 07.30ට ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ අවසන් පූර්ව වටය පිළිබඳ තවදුරටත් බලාපොරොත්තු රඳවාගැනීම සඳහා අනිවාර්යයෙන්ම අද තරගය ජයගත යුතුය. අද තරගය පරාජයට පත්වුවහොත් මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවන දෙවැනි කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත්වනු ඇත. සහභාගි වූ මුල් තරග තුනේදීම පරාජයට පත්වූ බංග්ලාදේශය කල්වේලා ඇතිවම අවසන් පූර්ව වටයට පිවිසීමේ වරම් අහිමි කරගත්තේය.



අද තරගයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ විශාල වෙනසක් බලාපොරොත්තු විය නොහැකි නමුත්, අතිරේක දඟ පන්දු යවන්නෙකු කණ්ඩායම එක් කිරීම පිළිබඳ කණ්ඩායමේ කළමනාකාරීත්වයේ අදහසක් ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. එසේ වුවහොත් ධනංජය ද සිල්වාට හෝ අකිල ධනංජයට අද තරගයේදී කණ්ඩායමේ දොරටු විවර විය හැකි අතර,ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව හමුවේ තරමක පසුබෑමක් පෙන්නුම් කළ ළහිරු කුමාරට කණ්ඩායමේ ස්ථානයක් අහිමි විය හැකිය.

ශ්‍රී ලංකාව සහභාගි වූ මුල් තරග 04දී කඩුලු 08ක් දවාගැනීමට ළහිරු කුමාර සමත් වුවද, පස්වැනි තරගයේදී ළහිරු යැවූ පන්දුවාර 03දී ලකුණු 48ක් රැස්කිරීමට ඔස්ටේලියානු පිතිකරුවෝ සමත් වූයේ ඔහුට එක් කඩුල්ලක් හෝ ලබා නොදෙනි. දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගයේදී සිය මුල් පන්දුවාර 03 ලකුණු 17කට සීමා කිරීමට ළහිරු සමත් වුවද, අවසන් පන්දුවාරයේදී ලකුණු 15ක් ආරක්ෂා කරගැනීමට ඔහු අපොහොසත් විය.එංගලන්ත පිතිකරුවන්ද වේග පන්දු යවන්නන් හමුවේ දක්ෂ ලෙස පන්දුවට පහරදෙන බැවින් අද තරගයේදී ළහිරුට විවේකයක් ලබාදීමට කණ්ඩායමේ කළමනාකාරිත්වය පියවර ගතහොත් එය පුදුම වන්නට කරුණක් නොවනු ඇත. පසුගිය තරග කිහිපයේදී චාමික කරුණාරත්න යවා ඇත්තේ පන්දුවාර 02 හෝ 03ක් පමණක් වීමත්,

නායක දසුන් ශානකටද තවත් පන්දුවාරයක් හෝ දෙකක් යැවිය හැකි වීමත් ළහිරුට විවේකයක් දෙමින් අතිරේක දඟ පන්දු යවන්නෙකු කණ්ඩායමට කැඳවීම සඳහා මනා පිටිවහලක් වනු ඇත. අංක 04 ස්ථානයේ පන්දුවට පහරදෙන අවිෂ්ක ප්‍රනාන්දු පිතිකරුවකු ලෙස දිගින් දිගටම අසාර්ථක වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ කඩා වැටීමට බෙහෙවින්ම බලපා තිබේ. මූලික වටයේදී නැමීබියාවට එරෙහිව නොදැවී ලකුණු 30ක් රැස්කිරීමෙන් අනතුරුව යළිත් ලකුණු අතරට පැමිණීමට අවිෂ්ක අපොහොසත් වී ඇත. ඉන් අනතුරුව පැවති තරගවලදී ඔහුගේ ලකුණු ලබාගැනීම සටහන් වන්නේ පිළිවෙළින් 0, නොදැවී 2,0, 4 සහ 3ක් ලෙසිනි. එබැවින් අද තරගයේදී සිය සුපුරුදමයට අවතීර්ණ වීමට ඔහු සමත් වුවහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි වාසි ගෙන දෙනු ඇත.

නායක දසුන් ශානකද පසුගිය තරගවලදී පිතිකරුවෙකු ලෙස එතරම් සාර්ථකත්වයක් නොපෙන්වීය.

ඔස්ටේලීයා තරගයේදී පන්දු 19කදී ලකුණු 12ක් රැස්කළ ඔහුට හතරේ පහරක් ගැසීම සඳහා පන්දු 18ක් බලා සිටීමට සිදුවිය. දකුණු අප්‍රිකානු තරගයේදී ද ඔහුට පන්දු 12කින් හතරේ පහර 02ක් සමග රැස්කරගත හැකි වූයේ ලකුණු 11ක් පමණි. එබැවින් තරග දිනවන්නා නැතහොත් තරග අවසන් කරන්නා ලෙස කණ්ඩායම තමාගෙන් ඊට වඩා යමක් බලාපොරොත්තුවන බව දසුන් වටහාගත යුතුය.

ඔස්ට්‍රේලියානු තරගයේදී ඇඩම් සම්පූ 12/2) හමුවේද, දකුණු අප්‍රිකානු තරගයේදී ත‍්‍රීස් ශබ්ධි (17/3) හමුවේද පන්දුවට පහරදීමේදී පසුගාමී බවක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා පිතිකරුවන්ට, ඔවුන් දෙදෙනාට නොදෙවෙනි පා දඟ පන්දු යවන්නෙකු වන ආදිල් රෂීඩ්ට මුහුණදීම කෙරෙහි අද තරගයේදී විශේෂ අවධානයක් යොමු කිරීමට සිදුව තිබේ. මේ දක්වා ක්‍රීඩා කළ තරග 03දී කඩුලු 05ක් දවාගෙන සිටින රෂීඩ්ගෙන් මෙන්ම තරග 03කදී කඩුලු 07ක් දවාගෙන සිටින ටයිමාල් මිල්ස්ගෙන්ද අද තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට එල්ල වන අභියෝගය සුළුපටු එකක් නොවනු ඇත.

(ශානුක අරවින්ද -සාජා නුවර සිට)