sri-lanka-west-indies-cricket

කඩුලු රකින ක්‍රීඩක කුසල් පෙරේරා සහ අවිෂ්ක ප්‍රනාන්දු බ.ඉ. කොදෙව් කණ්ඩායමට එරෙහිව අබුඩාබිහිදී අද (04දා) පැවැත්වෙන තරගයටද ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා පැවසීය. මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගයට පෙර ඊයේ (03දා) පැවති මාධ්‍ය හමුවේදී ආතර් මහතා ඒ බව කියා සිටියේය. 


"පසුගිය කාලේ කුසල් ආබාධවලට ලක්වෙලා හිටියේ. ඒත් දැන් ඔහු සුපුරුදු රිද්මයට පැමිණමින්   ඉන්නවා. ඔහු පන්දු 20කට විතර මුහුණ දුන්නොත් අනිවාර්යයෙන්ම අපිට එතනින් ලකුණු 20ක්, 30ක් විතර ලැබෙනවා. ඔහුගේ එක සාර්ථක ඉනිමක් ප්‍රමාණවත් තරගයක් දිනවන්න. අවිශ්ක ගත්තොත් පසුගිය තරගවලදී ලකුණු අතර සිටියේ නෑ තමයි. ඒත් අවිශ්ක කියන්නෙ අපිට ඉන්න ඉතාමත් දක්ෂ පිතිකරුවෙක්. ඕනෑම කෙනෙක්ට අමාරු කාලයක් එනවා. ඒ කාලෙදි අපි ඔහුව රැකගත යුතුයි " යැයි ආතර් මහතා සඳහන් කළේය.




ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩය යටතේ පැවැත්වෙන  එම තරගය අබුඩාබිහි ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී  මෙරට වේලාවෙන් ප.ව.7.30ට ආරම්භ වීමට නියමිතය.  සුපිරි 12දෙනාගේ වටයේදී මේ දක්වා  සහභාගි වූ තරග 04න් 03ක් පරාජය  වී සිටින ශ්‍රී ලංකාව මේ වන විටත් තරගාවලීයෙන් ඉවතට විසි වී ඇත.  නමුත් තරග 03කදී එක් ජයග්‍රහණයක්  සහ පරායන් 02ක් ලබා සිටින  කොදෙව්වන්ට අවසන් පූර්ව වටයට  සුදුසුකම් ලබාගැනීමට තවමත් අවස්ථාව  තිබේ.  ශ්‍රී ලංකාව සහ බ.ඉ. කොදෙව් කණ්ඩායම අතර මේ දක්වා විස්සයි20 තරග 14ක් පවත්වා ඇති අතර, කණ්ඩායම් දෙකම ඉන් තරග 07 බැගින් ජයගෙන තිබේ.


විස්සයි20 ලෝක කුසලාන තරග 07කදී මෙම කණ්ඩායම් දෙක එකිනෙකාට එරෙහිව තරග වැදී ඇති අතර, ඉන් 05ක් ශ්‍රී ලංකාවත්, 02ක් කොදෙව් කණ්ඩායමත් ජයගැනීමට සමත් වී ඇත.   ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගයේදී අර්ධ ශතකයක් (65) ලබාගනිමින් ඔට්‍රේලියානු ජයග්‍රහණයයේ නියමුවා බවට පත්වූ ඩේවිඩ් වෝනර්, ලකුණු 18ක් ලබා සිටියදී දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ ලබාදුන් උඩ පන්දුවක් කුසල් පෙරේරා අතින් ගිලිහී ගියේය. එමෙන්ම දකුණු අප්‍රිකානු තරගයේදී චාමික කරුණාරත්න යැවූ පන්දුවාරයකදී වයිඩ් පන්දුවක් බවට විනිසුරුවරයා සංඥා කළද, පුනරූපණ ඔන්සේ දැකගත හැකි වූයේ එය ටෙම්බා බහුමාගේ පිත්තේ වැදී ගිය උඩ පන්දුවක් බවය. කෙසේ වුවත් එය රැකගැනීමට කුසල් අසමත් වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදයට යෑමට පවා නොහැකි විය.




මීට අමතරව එංගලන්ත තරගයේදී කුසල් බිම දැමුවේ ඩේවිඩ් මලාන් ලබාදුන් උඩ පන්දුවකි. නමුත් ඉන්පසුව යැවූ පන්දුවේදීම මලාගේ කඩුල්ල බිඳ දැමීමට චමීර සමත් වූ බැවින් එම උඩ පන්දුව ගිලිහී යෑමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එතරම් බලපෑමක්  නොවීය. එහෙත් එහිදී ඔහු අතහැරීයේ ඒ වන විට විස්සයි20 ශ්‍රේණිගත කිරීහිම් පෙරමුණේ පසුවූ පිතිකරුවාගේ උඩ පන්දුවක් වීම කිසිසේත්ම සමාව දිය නොහැකි කරුණක් වනු ඇත.  අංක 04 ස්ථානයේ පන්දුවට පහරදෙන අවිෂ්ක ප්‍රනාන්දුද මෙම තරගාවලිය පුරා පිතිකරුවෙකු ලෙස දිගින් දිගටම අසාර්ථක වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ කඩා වැටීමට බෙහෙවින්ම බලපෑවේය.


අද තරගයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ විශාල වෙනසක් බලාපොරොත්තු විය නොහැකි නමුත්, අතිරේක දග පන්දු යවන්නෙකු කණ්ඩායමට එක් කිරීම සම්බන්ධයෙන්ද කණ්ඩායම් කළමනාකාරිත්වයේ අදහසක් ඇති බව වාර්ත වේ. එසේ වුවහොත්   තවමත් එක් තරගයකට හෝ ක්‍රීඩා නොකළ ධනංජය ද සිල්වාට හෝ අකිල ධනංජයට කණ්ඩායමේ ස්ථානයක් හිමි වීමටත්, පසුගිය තරග කිහිපයේ දැඩි පහර කෑමකට ලක්වූ ළහිරු කුමාරට සිය ස්ථානය අහිමි වීමටත් ඉඩ තිබේ.

ශානුක අරවින්ද - අබුඩාබි සිට