urujuwa-friend-body-issue

මුල්ලේරියාව මාලිගාගොඩැල්ල ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට පැමිණ සිටියදී ප‍්‍රදේශවාසීන්ගේ පහරකෑමට ලක්ව මියගිය කොල්ලකරුවකුගේ මළ සිරුර බාර ගැනීම ඊයේ (2) ඔහුගේ විවාහක බිරිද ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම මළසිරුර ඔහුගේ නැගණියට බාර දුන් බව පොලිසිය පවසයි. මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිව සිටි චතුර මධුරංග හෙවත් "චතු" නමැත්තා බව පොලිසිය සඳහන් කරයි.  

මොහුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ පොලිස් මෘත ශරීරාගාරයේ දී පැවැත් වූ අතර, එහිදී මියගිය අයගේ බිරිඳ මළසිරුර බාරගැනීම ප්‍රතික්ෂේප කර ඇත. දෙදරු පියකු වූ මෙම සැකකරු වසර 10 ක පමණ කාලයක සිට බිරිඳගෙන් වෙන්වී සිටින බවත්,

තමන් හා දරුවන් සම්බන්ධයෙන් සොයා බැලීමක්  හෝ ගෙවීමක් සිදු නොකරන නිසා සැමියාගේ මළ සිරුර බාර ගැනීමට නොහැකි බව පවසා මට ප්‍රතික්ෂේප කළ බව ද පොලිස් ආරංචි මාර්ග කියයි. පසුව සැකකරුගේ නැගණිය ඉදිරිපත් වී සිය සොහොයුරාගේ මළ සිරුර බාර ගත් බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකුව සිට පොලිස් වෙඩි පහරින් මියගිය ඌරුජුවාගේ ප්‍රධාන ගෝලයකු බවත්, මොහුට 2018.10.28 දින හංවැල්ල ප්‍රදේශයේ දී සහ 2018.9.15 දින ඇඹුල්ගම හන්දියේ දී පුද්ගලයන් දෙදෙනකු  වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන් දෙකට චෝදනා එල්ල වන බවත් පොලිසිය කියයි. එම චෝදනා දෙකට සැකකරු අධිකරණයෙන් ඇප මත සිටින්නකු බවද පොලිසිය පවසයි.

ඌරුජුවා නමැත්තා මියගිය පසු ඔහුගේ තැන ගැනීමේ අරමුණෙන් මෙම සැකකරු කටයුතු කර  ඇති බවත්, ඌරුජුවා සිදුකළ කප්පම් ගැනීම ඇතුළු කටයුතුවල මොහු නිරත වී සිට ඇති බවත් පොලිස් ආරංචි මාර්ග කියයි. මොහු කොල්ලකරුවන් තවත් දෙදෙනකු සමග ඉකුත් 31 දා රාත්‍රියේ මුල්ලේරියාව මාලිගාගොඩැල්ල නිවසකට කඩා වැදී නිවස කොල්ල කමින් සිටියදී නිවසේ තරුණයා සැකකරුවන්ගේ මිදී පලාගොස් අවට අයගේ උපකාර ඉල්ලා කෑ ගැසීමත් සමග අසල්වාසීන් පැමිණ, කළ පහරදීම් හේතුවෙන් බරපතළ තුවාල ලබා මියගොස් ඇත.


-ඉන්දිකා රාමනායක-