ඊයේ (08) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා වාචික පිළිතුරු අපෙක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙසේ කීය.

"මීට මාස 06කට පමණ පෙර රටේ තිබුණු ආන්දෝලනය තමයි එන්නත් ගේන්න අපට මුදල් නැ, මේක ගේන්න බෑ, අපට මේ වැඩපිළිවෙළ කරන්න ශක්තියක් නම් නෑ කියලා. මේ වනවිට සමස්ත ජනගහනයෙන් 71%ක් එන්නත්කරණය කරලා ඉවරයි. ලෝකයේ රටවල් පළමු 05 ඇතුළත ඉන්නවා. ඒ වගේම මිලියන 14ක් ෆයිසර් අපි දැනට ඇණවුම් කරලා තිබෙනවා. සාමාන්‍යයෙන් වැක්සින් එකක් වයිරස් එකකට අවම වශයෙන් අවුරුදු 10ක්වත් ටෙස්ට් කරලා තමයි අනුමත කරන්නේ.




ලෝකයේ ඇති වුණු මේ සුවිශේෂී තත්වය උඩ එවැනි දෙයක් කරන්න බෑ. බලාගෙන ඉදිද්දි මැරෙන තත්වයකට පත්වුණා. ඒ නිසා තමයි අවුරුද්දක් යන්නත් පෙර සාමාන්‍ය සම්පෙ‍්‍රදායෙන් බැහැර වෙලා යම්කිසි අතුරු ආබාධ තිබුණත් මරණයෙන් බේරීමට මෙය වැදගත් වෙනවා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසන් තීන්දුව. මම මෙතනදි ප්‍රකාශ කරන්න ඕන ගිය සතියේ මම නීතිපතිවරයාගෙන් අවසරයක් ඉල්ලුවා. නීතියේ රාමුව තුළ අවසරයක් තියෙනවාද කියලා වැක්සින් දෙකම ගත් නැති කට්ටියට පොදු ස්ථානවලට යන්න බැරි වනවා.



මට අද ලැබිලා තිබෙනවා ඒක නීත්‍යානුකුලව කරන්න පුළුවන් කියලා. මම බලාපොරොත් වෙනවා එය  නීත්‍යානුකුලව කරන්න. දියුණු රටවල් ගණනාවක් ඒ දේ කරලා තිබෙනවා. මම බලාපොරොත්තු වනවා සෞඛ්‍ය අමාත්‍යනාංශය හැටියට වැක්සින් දෙකම ගන්න පුළුවන් ඇප් එකක් හදලා, ඒ ඇප් එක නැතිනම් පොදු ස්ථානවලට යන එක තහනම් කරන්න. ඒකටත් උසාවි යයි. නමුත් ඒකට මුහුණ දෙන්න සිදු වෙනවා”