vitamin-sri-lanka-usage

අප රටේ වැඩි වශයෙන් අයුතු ලෙස භාවිත කරන ඖෂධය නම් වෛද්‍ය  නිර්දේශයකින් තොරව ලබාගත හැකි "විටමින්’ වර්ගය. මෙරට ඇතැම් වෛද්‍යවරු ඔවුන්ගේ රෝගීන්ට අනවශ්‍ය විටමින් වර්ග හා යකඩ පෙති නිර්දේශ කරති.  විශේෂයෙන්ම නගරබද ප්‍රදේශවල වාසය කරන නිරෝගී පුද්ගලයන් විශාල පිරිසක් විවිධ විටමින් වර්ග දිනපතා භාවිත කරති.  එමගින් ජීවන තත්වය වර්ධනය වී, බරපතළ රෝග හටගැනීම වළක්වා, දිගු කලක් ජීවත්වීමට හැකි වනු ඇත යනු ඔවුන්ගේ විශ්වාසයයි.  වෛද්‍යවරු සිය රෝගීන්ට නියම කරන විටමින් පෙති වැඩිහරියක් අනවශ්‍ය ඒවා වේ.




විටමින් "ඒ" විටමින් "ඩී" සහ විටමින් "කේ' වැනි විටමින් වර්ග පමණ ඉක්මවා ගැනීම හේතු  කොටගෙන වැඩිහිටියන් මෙන්ම ළමයින් තුළ ද බරපතළ සෞඛ්‍ය ගැටලු ඇතිවීමට ඉඩ තිබේ.   මේද ද්‍රාව්‍ය fat soluable විටමින් වර්ග හිතුමතයට ගැනීම බෙහෙවින් අනතුරුදායකය. වෛද්‍යවරු සිය රෝගීන් සඳහා වැඩි වශයෙන් නිර්දේශ කරන්නේ බහු විටමින් සහ විටමින් "සී" කරල්  හා පෙති ආදියයි. යකඩ අඩංගු බහු විටමින් පෙති භාවිතයෙන් සමහර අවස්ථාවල හදව ත් රෝග හට ගැනීමට මඟ සැලසිය හැකිය.  


විටමින් "ඒ"

සෞඛ්‍ය සේවාවේ වර්ධනය නිසා මේ අවධියේ විටමින් "ඒ" ඌනතාවය දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. ළමා රෝග විශේෂඥයන්ගේ මතයට අනුව දැනට විටමින් "ඒ" ඌනතාවයෙන් යුත් රෝගීන් ඉතා විරලය. විටමින් "ඒ' පමණ ඉක්මවා ගැනීමෙන් හම රළුවීම, හිසකෙස්වල වියළි ස්වභාවය, ඊ.එස්.ආර්. මට්ටම වැඩිවීම ආදියට මගපෑදිය හැකිය. රුධිරයේ විටමින් "ඒ" වැඩි ප්‍රමාණයක් තිබීම උපත් දෝෂවලට මග සැලසිය හැකි හෙයින්  ගැබ් ගැනීමට ඉඩ ඇති කාන්තාවන්ට හා ගැබිනි සායනවලට සහභාගී වන කාන්තාවන්ට විටමින් "ඒ"’ අතිරේකය නියම නොකළ යුතුය. තවද ගැබිනි මවුවරුන් විටමින් "ඒ" වලින් පොහොසත් සත්ත්ව අක්මාව ආහාරයට නොගත යුතුය.  


විටමින් "ඩී"


අප හිරු එළියට නිරාවරණය වන හෙයින් විටමින් "ඩී" ඌනතාව නිසා හට ගන්නා රෝග අප රටේ දක්නට නොලැබේ. හිතුමතයට විටමින් "ඩී” පෙති භාවිත නොකළ යුතු අතර මේවා පමණ ඉක්මවා ගැනීම නිසා ආහාර අරුචිය, මහන්සිය, වමනය, වනය, බර අඩුවීම, වැඩිපුර මූත්‍රා පිටවීම, හිසරදය, පිපාසය හා කැරකැවිල්ල ආදිය ඇති විය හැකිය.

විටමින් "ඊ'

විටමින් ""ඊ" අඩංගු කරල් හා ශීර්ෂාලේප භාවිත කිරීමෙන්  හිසකේ වැටීම වළක්වාලන්නේ යන වැරැදි මතය නිසා සමහර කාන්තාවන් හිතුමතයට මෙම විටමිනය භාවිත කරති. රූපලාවණ්‍ය ශිල්පීන් කාන්තාවන්ට විටමින් ""ඊ” භාවිත කරන ලෙස උපදෙස් දුන්නද එමගින් හිසකේ වැටීම වළක්වාගත නොහැකිය. විටමින් 'ඊ'' භාවිතයෙන් හෘදයාබාධ හටගැනීම වළක්වාලන්නේය යන විශ්වාසය නිසා මීට වසර 30කට පමණ පෙර වෛද්‍යවරු හදවත් රෝගීන්ට විටමින් "ඊ" නිර්දේශ කළහ. මේ දක්වා කර ඇති සියලු සායනික අත්හදා බැලීම්වලින් එහි සත්‍යතාවක් නැති බව හෙළි වී  තිබේ, නින්දේදී කෙණ්ඩා පෙරළීම වළක්වාලීම සඳහා වෛද්‍යවරු  රෝගීන්ට මෙම විටමිනය නිර්දේශ කරති.



විටමින් "බී"

විටමින් 'බී' ඌනතාවද දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. දරු ගැබෙහි ස්නායු නාළ දෝෂ හටගැනීම වළක්වාලීම සඳහා ප්‍රසව වෛද්‍යවරු ගැබිනි මවුවරුන්ට "බී” විටමින් වර්ගයක් වන ෆෝලික් අම්ලය නිර්දේශ කරති. පියයුරු පිළිකා හට ගැනීම වළක්වාලීමේ ශක්තියක් ෆෝලික්  අම්ලය සතු බවට විශ්වාසයක් පවතී.   වෛද්‍යවරු හදවත් රෝගීන්ට සාමාන්‍යයෙන් ෆෝලික් අම්ලය දිනපතා ගන්නා ලෙස නිර්දේශ කළද එමගින් හෘදයාබාධ හටගැනීම වළක්වාලන බවට විද්‍යාත්මක සාක්ෂි ලැබී නැත.

සමබල ආහාර වේලක් ගන්න.

ඔබ සමබල ආහාර වේලක් ගන්නේ නම් විටමින් වර්ග ගිල දැමීමේ අවශ්‍යතාවයක් නැත. විටමින් "ඊ", බීටා කැරොටීන් හා හෘදයාබාධ හට ගැනීම වළක්වාලන්නේ යයි පවසන ෆෝලික් අම්ලය ආදිය පිළිබඳව අහඹුවෙන් කර ඇති සායනික අත්හදාබැලීම්වලදී  විටමින් වර්ග අතිරේක වශයෙන් ගැනීමෙන් විශේෂ යමක් සිදුවෙන බවට සාක්ෂි ලැබී නැත. බීටා කැරොටීන් වැඩි ප්‍රමාණයක් ගැනීමෙන් අහිතකර තත්ත්වයන් ඇති වන බව අහඹුවෙන් කර ඇති සමහර සායනික අත්හදාබැලීම් වලින් හෙළි වී තිබේ.   ඩීන් ඕනීෂ් නම් සුප්‍රකට ගත්කරුවා පවසන අන්දමට පලතුරු, එළවළු, ධාන්‍ය වර්ග සහ සෝයා නිෂ්පාදනවල ආරක්ෂාකාරී ද්‍රව්‍ය 1000කට වැඩියෙන් අඩංගු අතර මෙම ආහාර පිළිකා, අකලට  මහලුවීම හා හදවත් රෝග වළක්වාලීමේ යහ ගුණයන්ගෙන් යුක්ත  වේ. සෞඛ්‍යයට හිතකර ආහාර ගැනීමෙන් ඔබගේ සෞඛ්‍ය තත්වය වර්ධනය කරගත හැකිවාක් මෙන්ම සිරුරේ බරද අඩු කරගත හැකිය.


ආහාරයේ හා ජීවන රටාවේ වෙනස්කම් ඖෂධවලට වඩා ප්‍රබලය. අප රටේ බහු විටමින් වර්ග, විටමින් "සී" හා යකඩ පෙති භාවිත කරන බොහෝ දෙනෙක් විටමින් හෝ යකඩ ඌනතාවෙන්  පෙළෙන්නන් නොවන්නේය යනු මගේ හැගීමයි. බටහිර ආහාර ගැනීමට පුරුදු වී සිටින තැනැත්තන් හා සුන්බුන් ආහාර වැඩිපුර ගන්නන් බහු විටමින් වර්ගයක් හෝ විටමින් "සී" ගැනීමේ වරදක් නැත. ඔබ විටමින් ඌනතාවයකින් පෙළෙන බව ඔබේ  වෛද්‍යවරයාට පෙනී ගියහොත් ඔහු සුදුසු විටමින් වර්ගයක් ඔබට නිර්දේශ කරනු ඇත. සාමාන්‍යයෙන් නිරෝගී තැනැත්තන් අනවශ්‍ය විටමින් වර්ග හිතුමතයට භාවිතයෙන් අතුරු ආබාධ ඇතිවීමට ඉඩ තිබේ.




යකඩ පෙති වැඩිපුර නොගන්න

යකඩ පෙති හා යකඩ අඩංගු සිරප් ආදිය වැඩිපුර ගැනීමෙන්  සිරුරේ යකඩ ප්‍රමාණය වැඩිවීමට ඉඩ තිබේ. යකඩ වැඩි ප්‍රමාණයක් ගත් විට අහිතකර කොලොස්ටරෝල් (LDL) ඔක්සිකරණය වේ.  ඔක්සිකරණය වූ අහිතකර කොලොස්ටෝල්  ඔක්සිකරණය නො වූ අහිතකර කොලෙස්ට්‍රෝල්වලට වඩා විෂ සහිතය. ඒවා ධමනීගත වී හෘදයාබාධ වැලඳීමට මගපෑදිය හැකිය. ඔසප් චක්‍රයේදී අමතර යකඩ ප්‍රමාණය පහව යන හෙයින් තුරුණු වියේ පසුවන කාන්තාවන් යකඩ ප්‍රමාණය වැඩිවීම ගැන කරදර විය යුතු නැත. එහෙත් ආර්තවහරණයෙන් පසු යකඩ පෙති ගැනීම සුදුසු නැත.

ඔබ පලතුරු, එළවළු, සෝයා නිෂ්පාදන සහ රනිල කුලයට අයත් බෝග හා ධාන්‍ය වර්ග ආහාරයට ගන්නා අයෙක් නම් විටමින් හා අනෙකුත් අමතර පෝෂණය කෙරෙහි කරදර විය යුතු නැත. පෝෂ්‍ය පදාර්ථ ප්‍රයෝජනවත් වන්නේ අතිරේක වශයෙන් ගත් විට  නොව ආහාර වශයෙන් ගත් විටය.   විටමින් වර්ග අතිරේක වශයෙන් ගැනීම යහපත් සෞඛ්‍ය තත්වයක් පවත්වා ගැනීම සඳහා උපකාර වන දිව ඔසුවක් ලෙස  නොසැලකිය යුතුය. යකඩ ඇතුළු වෙනත් විටමින් වර්ග අධික ලෙස ගැනීම බෙහෙවින් භයානක වීමට ඉඩ තිබේ.
 
- වෛද්‍ය ඩී.පී අතුකෝරල
උපුටන සටහන  - කේ.එන්.ඕ. අමරදාස